Monday, May 4, 2020

ඈ දැකුමෙන් මා හට මෙසේ සිතුණි



සාහිල් පුතේ, ඔයාට කොල්ලෙක්ව බඳින්න කිව්වොත් ඔයා ඒක කරනවද?

- කීයටවත් නෑ

ඒ ඔයා ස්වාභාවයෙන් ම හැදිලා තියන විදිය නිසා. මෙයාලටත් ඒක ඒ විදියමයි. එයාලා ස්වාභාවයෙන් ම හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ බටහිර සමාජ බලපෑමක කෙහෙල්මලක් නෙවේ. ගහලා හිර කරලා තියන එකෙන් මෙයාලගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මේක බෙහෙතක් ඕනි කරන ලෙඩක් නෙවේ. ඒ ආදරය. ඒක විතරමයි. ආදරයක් ලබන එක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්. ආදරය කරන එක කොහොමද අපරාධයක් වෙන්නේ? ස්වීටි පුතේ, මම ඔයාගේ සතුට වෙනුවෙන් ජීවිතේ ම දෙන්නම්. ඔයාට ලන්ඩන්වලට පැනලා යන්න ඕනි වෙන්නේ නැහැ. ඔයා ඔයාට කැමති විදියට ඔයාගේ ජීවිතය ගත කරාවි.

මම හිතුවේ ඔයා අම්මා වගේ කියලා. ඒත් ඔයත් මං වගේමයි. මාත් ආසා කරන්නේ ගෑනු උදවියට.

Shelly Chopra Dharගේ Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) චිත්‍රපටයේ අවසානයේ දෙබසක් මට ඒ විදියට පරිවර්තනය කරන්න හිතුණා. Ek Ladki Ko Dekha Toh Aisa Laga ඉස්සෙල්ලම කනට ඇහෙන්නේ 1942: A Love Story චිත්‍රපටයෙන්. අදටත් පට්ට ගහන සින්දුවක්. ඈ දැකුමෙන් මට මෙහෙම හිතුණා, ඒ වගේ තේරුමක් ඕකේ තියෙන්නේ. එදා එහෙම හිතුණේ අනිල් කපූර්ට. ඒත් අද එහෙම හිතෙන්නේ ඔහුගේ ම දුවණිය සෝනම් කපූර්ට. බහුතරයකට කුණුහරුපයක් වෙන (මොන පදනමකින් ද කියන ප්‍රශ්නය මැරෙනකන් ම තියෙයි මට) සමරිසි සම්බන්ධතාවක් ගැන කියවෙන ආදරණීය චිත්‍රපටයක්.

ගිය අවුරුද්දේ මවිසින් බලන්නට යෙදුණ මේ අපූරු සිනමා ආමන්ත්‍රණය අපේ රටේ ප්‍රේක්ෂක ප්‍රජාවගේ මහා සිනමා රසිකත්වයෙන් ලිස්සලා ඈතට යන්න හේතු මහ ගොඩක් නෑ. පළවෙනි ම හේතුව ආදරය ගැන කයිවාරු ගැසීම මිස ආදරේ කරන්න සහ ආදරේ කරන්න ඉඩ දෙන්න මිනිස්සු විදියට තියන නොහැකියාව. අනෙක් මිනිස්සුන්ගේ ජීවිත, උන්ගේ ආදර කතා, ඉන්න විදිය පාලනය කරන්න හැකියාවක් ඇතැයි කියලා හිතන ගෝත්‍රික චින්තනය. ඒ හින්දම සදාකාලික වේදනාවකින් මිනිස්සුන්ව පෙළන්න තියන්න අමනුස්ස ආසාව. ඉතින් මෙච්චර පොරත්වයක් තමන්ට හිමි කරලා දෙන මාතෘකාවක් ගැන හදපු චිත්‍රපටයක් බලලා නිකන් මොකට ද මොරාල් බස්ස ගන්නේ?

අනෙක් කාරණය තමයි සංවේදි මාතෘකාවක් ගැන ඉන්දීය සිනමාව කතා කරන හැම පාර ම කක්කුස්සි කතන්දර, කුල ප්‍රශ්න, ගෑනුන්ට වඩා හරකුන්ට ගෞරව කිරීම යනාදි විදියට තියන ගැටලුවලින් සිනමාවෙන් ගන්න ප්‍රයත්නය වහලා දාන්න හදන එක. තමන්ගේ රටේ මිනිස්සුන්ගේ මොළ ටික බයිස්කෝප් කෑල්ලකින් හරි හදන්නයි ඉන්දියාව හදන්නේ. නමුත් ඒක බොහෝ බකපණ්ඩිතයන්ට ඒ සිනමාව ප්‍රතික්ෂේප කරන්න ම හේතුවක් වෙලා.

"උඹලා ඔය මොන බයිලා ගැහුවත් වැඩක් නෑ රෙන්නේ පාරේ!"

ඕක තමයි තර්කය.

"ඒ හින්දා තොපි අපිට මල් ගස් වටේ 'කොල්ලෙකුයි කෙල්ලෙකුයි' දුවන බයිස්කෝප් එකක් හදලා දීලා පාඩුවේ හිටාන්. අපි මේ යථාර්ථවාදී සිනමාව කියලා එකක් ඉල්ලලා කරන්නෙත් පොඩි රඟපෑමක්. සිනමාව යථාර්ථවාදී වෙන්නේ ඒක අපිට සෙට් නම් විතරයි."

මම සිනමාවට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ ලෝකයේ හැම විදියෙම මිනිස්සුන්ට තැනක් තියන නිසා. එහෙම තැනක් හැබෑ ලෝකයේ නැති නිසා. සිනමාවෙදි වගේ ම එහෙම බෝඩර් නැති ලෝකයක් හදන්න බය නැතුව අහගන්න වෙන කයිකතන්දර තඹේකට මායිම් නොකර චරිත භාරගන්න නළුනිළියන් සුපිරි වීරයන් වගේ. සෝනම් කපූර් හැබෑ ජීවිතේ කඩවසම් තරුණයෙකු ව කසාද බැඳලා ඉන්නේ. අඩිරූලක් තියලා ගැහුවා වගේ ස්ට්‍රේට් ගැහැනියක්. එහෙම මිනිස්සු මේ වගේ චරිත නියෝජනය කරනකොට ඒක ඇත්ත ලෝකයේ වේදනාවට බලාපොරොත්තුවක් එකතු කරනවා. සිනමාවෙන් ලෝකයක් සම්පූර්ණයෙන් අනික්පැත්ත ගහන්න බෑ. හැබැයි මිනිස්සුන්ට වෙනස් වෙන්න අත දෙනවා. කාලයත් එක්ක සිනමාවෙන් ලබන ඒ සවියෙන් අත් ඔක්කොම එකතු වෙයි. එදාට සමහරවිට අලුත් ලෝකයක් තැනෙයි.

1 comment: