Monday, April 27, 2020

වැඩකට නැති සංවාද - දේව්දාස්



"උඹ....පොඩ්ඩක් කට වහගෙන... මං කියන දේ අහපං... දැන් මේ වෙලාවේ මිනිස්සු නිදි... උඹයි මායි මොකද්ද මේ කරන්නෙ?"

වෙලාව මධ්‍යම රාත්‍රී එක පසු වී විනාඩි හතළිස් පහකුත් ගිහිල්ලා ය. මං නිදි නැත. අතිජාත පාසල් මිතුරු ගවයා ද නිදි නැත. ඌ ෆෝන් එකේ එහා පැත්තේ ය. මම අනික් පැත්තේ ය. හපපු චුයින්ගමේ සහ ඩෙස්ක් එකේ යටිපැත්ත මෙන් යාවජීව බැඳීමක මාත් ගවයාත් බැඳී සිටින්නෙමු. අතිශය බොළඳ කාරණා කීපයක් අපේ මිත්‍ර බන්ධනයේ ඇත. අවුරුදු 25ක් ගිය තැන ද තවමත් ඒවා අපේ ජීවිතේ ය. අපට කතා කරන්න ඇත්තේ ද එච්චර ම ය. අංක එක අයිෂ්වර්‍යා වේ. මේ දුරකතන ඇමතුම මෙච්චර වෙලා ඇදි ඇදි යන්නේ ද එයා නිසා ය. මේ සංවාදය මෙහෙම වන්නට තිබුණ එකක් නම් නෙවේ ය. ඒත් ඒ දවස්වල කැන්ටින් අවශ්‍යතා සඳහා වචනයක්වත් හුවමාරු නොකර දෙන්නා ම අවබෝධයෙන් යුතු ව ඒ ඉසව්වට ගියා වගේ ම මට මොකක් හෝ ගිනිවිජ්ජුම්බරයක් වුණ බව ගවයාට දැනුණා විය යුතු ය.

"හලෝ, මේ උඹ අඬනවා වගේ ඇයි ඔය?"
ඇමතුමේ ආරම්භය නමෝ විත්තියෙන් එය ම විය. කැඩිච්ච ටැප් එකක් මෙන් ඉන්පසු මා කියවාගෙන ගියා මතකය. ගොත ද ගැහුණි. හෙන ම කිණ්ඩිය ය. ගවයාට වුණත් මෙච්චර මගේ බොළඳ බව පෙන්විය යුතු නැත.

"+ නෑ මේ මම දේ...
- හරි මම හිතුවා.. දේව්දාස් බැලුවනේ?
+ ඉඳපන්කෝ කියනකන්. උඹ දන්නවනේ මම බලපු දේව්දාසක් නෑ. මම ඒක යව යව අක්කා ඉන්න ටික විතරයි බැලුවේ. අනේ දුකේ බෑ බං මට නම්. බලපන් ලස්සන. සාමාන්‍ය මනුස්ස දුවක් නෙවෙයි බං...."

අක්කා යන නාමපදය මගෙත් ගවයාගෙත් ජීවිතවල පුද්ගලියන් දෙදෙනෙකුට පමණක් අදාළ ය. එක අක්කෙක් අයිෂ්වර්‍යා ය. අනෙක් අක්කා අයිෂ්වර්‍යා වගේ අප දෙදෙනා ම දන්නා තැනැත්තියක් ය. ඉතින් අප දෙදෙනාට අයිෂ්වර්‍යා පිස්සුව නහුතෙට ම ඇත. එච්චර එකක් තිබිය දී ගවයා ආත්මය පාවා දෙන්නියක ලෙස කතා කරන්නට ගත්තා ය. වැරදීමකින් දේවාලෙක ගිනි පෑගුණ එකියක මෙන් මට එලෝ මෙලෝ නැති විය.

" + මේ උඹට පිස්සුද යකෝ.. ඔච්චර හිතන්න එපා
- මොකද්ද තෝ දැන් හිතන්න එපා කියන්නේ?
+ නෑ එහෙම නෙවේ බං ඔච්චර ඇඟට ගන්න එපා
- ඇයි උඹ ඇඟට අරගෙන නෙවේ ද මෙච්චර කල් හිටියේ? පලයන් බං
+ නෑ බං මම පාලනය කරගන්න පුළුවන් මට්ටමේ කියලා මට හිතෙනවා. උඹේ නම් සෞඛ්‍යය අන්තිමට පිරිහිලා වගේ
- පාවා දෙන්න එපා යකෝ!"

මට සිහි නැති විය. බත් ඔතන් ආපු කොළේක අයිෂ්වර්‍යා හිටිය ද ඒ කෑල්ල ඉරාගෙන දේව භක්තියකින් පොත් අස්සේ හංගාගත් ගෑනිම ද මේ? මේවා අහනවාට වඩා දෙකන් නෑසුණා නම් කියා මට සිතුණි. කන් දෙකෙන් ලේ ගලනවා වගේ ද දැනුණි. මේ වෙලාවේ මේ අවනඩුව අහන්න කිසිම දෙයියෙක් නැත. ඔක්කොම නිදි ය.

" + උඹ එහෙනන් එහෙමයි නේ?
  - නෑ නෑ බං මං කියන එක තේරුම් ගනිං
+ මට බෑ"

උත්තර කෙටි විය. මේකිට පයින් ගසා සිතට සැනසුමක් ලබා ගන්නා තෙක් තව නම් වචනයක්වත් කතා කරන්න මට ඕනෑ නැත. ඒ අවසරයෙන් ගවයා වෙන මාතෘකාවක් ඇදගෙන දොඩවන්න විය. මට ඇහුණේ නැත. ඒකි මොනා කිව්වද මම දන්නේ නැත. ඒත් මම මෙහෙම කිව්වෙමි.

" + ගවේෂිකා.... ගවේෂිකා....
- ඇයි යකෝ!
+ පාරෝ ඇවිත් ගේට්ටුවේ වැදුණ විදියට රිදෙන්න ඇති යකෝ අම්බානෙට
- තෝ ආය දේව්දාස් ගැන කිව්වොත් කට තලනවා. උඹට හැන්ගෝවර් ද? බිව්වේ දේව් ද තමුසෙ ද?" 

හිතෙන් වඳුරු කුණුහරුප කියූ මම ටිකකට කට වසාගත්තා විය යුතු ය. ගිරා පැටව් දෙන්නා දෙතැනකට වැටුණ පරණ කතාව මෙන් උසස් පෙළ නිසා අප දෙතැනකට විය. ලේසියෙන් හමු නොවුණි. උසස් පෙළින් පසු පාරෙ දී හමුවුණ අවස්ථාවක් ඈ සිහියට නගා ගත්තා ය.

" + මේ උඹට මතක ද උඹ අර කොණ්ඩේ ස්ට්‍රේට් කරන් හිටියා?
- ඕ ඉතින්?
+ උඹේ එතකොට උඹේ නැති බොරු විනීතකමක් තිබ්බා බං පාරෙ දි හම්බුණත් එහෙමයි. කතා කරන හැටියෙ බලන හැටියේ.
- හ්ම්ම්ම්. එදා මං උඹ දිහා බැලුවේ පාරෝ දේව් දිහා බලනවා වගේ
+ ඔය බලපන්කො තොට එතනින් ගැලවිල්ලක් නෑ.
- නෑ මට මේ පිස්සු හැදිලා තියෙන්නේ උඹේ පාවා දුන්න නාඩගම නිසා.
+ උඹට තමයි පිස්සු. මම අයිෂ්වර්‍යා ව අමතක කරලා නෑ යකෝ. උඹට තරම් අසාමාන්‍ය වේදනාවක් නෑ ඒකයි.
- හා."

මම තරමක් නිවුණි. ඒ ඇසිල්ලේ ගවයා යළිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණියා ය. උඩට දාන සරුව පිත්තල කෑලි ටික පෙරාගෙන රත්තරන් ජෝගුවකට දැමු එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් දියරයක් මෙන් ඈ කී පහත වදන් මගේ කන් බෙරයේ වැදුණි.

"+ තිසරණී..
- ඇයි තෝ ඒ පාර?
+ පාරෝ පව් තමයි බං. අපේ අක්කානේ
- අන්න එහෙම කතා කරපන්.

තණමල්විල කොල්ලෙක් විචාරය කරන මහප්‍රාණ පණ්ඩිතයෙක් මහපොළවට පැමිණෙනවා සේ ගවයා අපේ පුංචි ලෝකයේ ප්‍රකෘතියට පැමිණ ඇත.

" + උඹ මේ පඬි ටෝක් දුන්නට දැන් බලපන් ඉතින්.. උඹටත් එතනින් මිදෙන්න බෑනෙ
- බෑ තමයි. එහෙම මිදෙනව ද? මම කිව්වේ උඹ සාමාන්‍ය ජීවිතේ එක්ක පටලවගන්න නිසා.
+ ඉතින් මේ මගේ සාමාන්‍ය ජීවිතේ තමයි. මං උඹත් එක්ක අයිෂ්වර්‍යා ගැන නොකියවන දවස තමයි අසාමාන්‍ය වෙන්නේ.
- බං මේ උඹ දැන් අයිෂ්වර්‍යා ගැන ඔච්චර ගැඹුරින් හිතන්න ඕනි කාලෙ ද? රස්සාවක් ගැන හිතපන්
+ ඒවා ඔක්කොම හරි. අයිෂ්වර්‍යා නිසා වෘත්තිය ජීවිතේට හානියක් නෑ."

මගේ වෘත්තිය අනාගතයේ මට ඔබින තැන සොයාගත් සතුටුදායක ප්‍රවෘත්තිය ද මම ගවයාට කිව්වෙමි. නැත්තන් මුන්දෑ මා තනිකර  ඔල්මොරොන්දන් ගෑනියකැයි සිතනු ඇත. චිත්‍රපටයක අයිෂ්වර්‍යා පෙන්වීමට පෙර දැනෙන නාටකීය නිශ්ශබ්දතාවේ සුව එවර අපි දෙදෙනා ම වින්දෙමු. කොළඹ බදුල්ල 99 බස් පාරේ වංගුවකින් බසයක් මතුවන්නා සේ අප දෙදෙනා ම බලාපොරොත්තු වන අනෙක් මාතෘකාව ද ඇදී ආවේ ය. පටන් ගත්තේ ගවයා ය.

" + බං උඹ Jazbaa බැලුවනේ?
- නැතුව යකෝ. මොනවද මේ අහන්නේ
+ නෑ ඒකේ අක්කා වගේ ම නේ බං. තරුණ මවක්.
- සිරාවට බං. සිරාවට ම!
මේ අයිෂ්වර්‍යා වගේ අක්කා ගැන කතාවකි.
+ බලපන්. අපි අපේ ළමා කාලය ම අක්කට කැප කරා නේ බං.
- ඔව් බං. මොකක් කතා කරත් කොහෙන් හරි කැරකිලා එනවා.
+ දැන් බලපන් වෙන ළමයි දෙන්නෙක්ට නම් පාසල් කාලෙ ගැන විවිධත්වයකින් කතා කරන්න තියෙනවා. අපිට එහෙම ද?
- ඒත් ඒකත් සතුටු හිතෙන වැඩක් නේ බං?  

ඇත්තට ම එය සතුටු හිතුණු වැඩකි. සතුට ගැන මම තව ටිකක් කියවන්න කට හදා ගනිද්දී ම වෙලාව පාන්දර දෙකයි කියා ගවයාට නිදාගැනීමේ දැඩි අවශ්‍යතාවක් දැනුණි. කොහොමටත් අපි කතා කරන මාතෘකා හා අතීත ආවර්ජනා ඒ මොහොතේ ම කියා අහවර කරන්නත් බැරි ය. දුව ගොසින් බදාගන්නට තරම් මහ ගොඩක් ආදරණීය දේවල් තිබේ. ඒ ගැන සිත සිතා ම මම ද නින්දට ගියෙමි. ඉර ඉක්මනින් පායනු ඇත.