Friday, February 28, 2020

සඳගලතැන්න ආයෙ ආයෙමත්

ඉස්සර දේවල් තමයි ලස්සනම. ඒක මේ මොහොතේ සහ හෙට දවසේ තියන කාලකණ්ණි කැත ගතියෙන් මිදෙන්න නිදහසට කියාපු දෙයක් නෙවෙයි. ඒක වෙන කිසිම පණ්ඩිත තියරියක් ගාවගන්න ඕනි නැති තරමට සදාකාලික සත්‍යයක්. කාට නැතත් ඒක මට හොඳටම අදාළ දෙයක්. අතීතයේ දවසක හොඳ නරක දෙකෙන්ම හිත රිද්දා ගැනීමේ නැති නම් සතුටු වීමේ ගතියෙන් තොර ලෝකයක් මට නෑ. මේ දේවල් මට හිතුණේ ආයෙත් ටීවී එකේ සඳගලතැන්න යන නිසා.

බත් කන වෙලාවට විතරක් එහෙන් මෙහෙන් කෑලි බලාපු නාට්‍යයක් විදියට දැක්කා මිසක් කතාවක් බලන විදියට සඳගලතැන්න බලපු මතකයක් මට නෑ. ඒත් ඒක හරිම ලස්සන බව මතකයේ තිබුණා. ප්‍රදීප් ධර්මදාස සහ හිමාලි සිරිවර්ධන කියන දෙන්නම එතකොට මගේ චයිල්ඩ්හුඩ් ක්‍රෂ් එකේ උඩින් ම හිටියා. ඒ දවස්වල ඇතිවුණ ඒ මනාපයට එහෙම විද්‍යාත්මක නාමයක් තියනවා කියලා දැනගත්තේ ඊයේ පෙරේදා.

හිමාලිගේ තිබ්බේ කවියක කතාවක තියන කෙල්ලකගේ ලස්සනක්. එයා ඔරවන, හිනාවෙන, අඬන, තරහෙන පුපුරන, ආයෙත් හිනාවෙන විදියේ පුදුමාකාර ස්වාභාවික ගතියක් තිබුණා. අද ටෙලි නාට්‍යවල ඉන්න වයින් බෝනික්කෝ එක්ක බලද්දී ඒ ගතිය ඉහටත් උඩින් පේනවා. එතකොට වෙද මහත්තයෙක් විදියට රඟපාන ප්‍රදීප්ට ඒකට ම හරියන පෞරුෂයක් තිබුණා. පාරම්පරික තරුණ වෙදෙක් නම් මෙන්න මෙහෙමයි ඉන්නේ කියන තරමේ ප්‍රසන්න ගතියක් ඒ රංගනය තුළ තිබුණා. හැරුණත් රංගනය තිබුණු තවත් කොලිටි නළු නිළියෝ මේකේ හිටියා. ටෝනි රණසිංහ, මැණිකේ අත්තනායක, සුජානි මේනකා, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, මොරින් චාරුණී මට මතක නම් ටිකක්.

අනික මේකේ තේමා ගීතය අදටත් අහනවනේ. අපි සින්දු කියන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඒත් බස් එකක ජනේලේ අයිනේ සීට්ටෙකේ ඉඳන් ඈත බලන් යන වෙලාවට කියැවෙන ගොඩක් සින්දු අතරේ 'සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ' තියනවා; ඉන්නවා.

දැන් ආයෙත් මේක හැම සතියෙම 8.35ට ජාතික රූපවාහිනියේ යනවා. යූටියුබ් චැනල් එකත් හිතුමතේ අප්ලෝඩ් කරනවා (දෙයියන්ගේ නාමෙට කෑලි කපන්නැතුව පිළිවෙලට දානවා නම්...). මට ඒක බලනකොට ඒ දවස්වල භාගෙට හදාගෙන යමින් තිබ්බ අපේ ගෙදර, හැම ගෙදරකම රැල්ලට තිබුණ LG Flatron ටීවී එක, ටිකකින් නිදාගෙන අනික් පහුවෙනිදට ඉස්කෝලේ යන්න තිබුණ හැඟීම, එක කෙස් ගහක් ඉදිලා නැති අම්මයි අප්පච්චියි, දෙහි ගෙඩියකටත් වඩා පොඩි මල්ලි කියන හැම දේම දැනෙනවා සහ පේන්න ගන්නවා. ඒක අතීතෙට අයිති ඕනි ම නිර්මාණයක් (වෙළඳ දැන්වීමක් පවා) බලද්දී මට වෙන දෙයක්.

සඳගලතැන්න ඉස්සෙල්ලාම බලලා අවුරුදු 10කට විතර පස්සේ මම මේ ඇස් දෙකෙන් හිමාලි සිරිවර්ධනව දැක්කා. ගොඩක් ඈතින් හිටියත් අවුරුදු ගණනකට පෙර රූප පෙට්ටියකින් දැක්ක හිනාවම එතන තිබ්බා. එතකොට අර කරලා තියෙන්නේ රඟපෑමක් නෙවෙයි.

හිමාලිට සඳගලතැන්න නිසා සම්මාන ලැබුණා මතකයි. ඒවා ලැබිය යුතු සම්මාන. එතැනදී ආයෙත් පරණ දේවල් මතක් වෙනවා. රිවයින්ඩ් කරලා බලන්න PeoTV තියා හරි හමන් ටීවි එකක්වත් නොතිබුණ කාලේ ඉඳන් සම්මාන උළෙලවල් එකක් නෑර බලපු කාලයක් තිබ්බා. ලොකු නැන්දා ඉන්න කාලේ ඒවා බලන ගමන් කන්න කඩල තෙල් දාලත් හදලා දෙනවා. අද ඔය මොකක්වත් නෑ.

කතාවක් විදියට නොබලපු සඳගලතැන්න මම අද බලන්නේ කතාවක් විදියට. ඒත් එක්කම මතක මහ ගොඩක් ලැබෙන එකෙත් අමුතු ලකයක් තියනවා. මේ නිර්මාණයට සම්බන්ධ වූ සියල්ලෝ පින් අත්කරගනිත්වා!

Thursday, February 20, 2020

අවසාන දවස


ගෙයින් එළියට බැස්සේ මං අද
අවසාන දවස කියලා හිතාගෙන
බයිස්කෝප් ලස්සනක ප්‍රේමයක් තියෙද්දිත්
නිදිමරාගෙන නුඹ පස්සේ යන
අවසාන දවස කියලා හිතාගෙන

ඒත් මං අදත් පැරදියි
අලුත් පින්සලකින් ඇන්ද හිනාවය
හීතල වෙලාවක දුම් දාන කෝපි කෝප්පෙක කතාවය
නියරක රටා ඇඳි ෆලූඩා පාට දෙතොල් ය
මොන පාටදැයි හරියට මතක නැති මුත්
ජනකතාවක ගම් දැරියකගේ දෑස් ය
කවි පදයක හිර කෙරුමට බැරි වුණත්
මා එක්ක ඒවා දිලිසෙනවා මතක ය
ඇත්තටම ඒ මාත් එක්ක විතරම ය

නුඹට දැන් කළ හැකි එකම දෙය
කිසිවක් මට නොපෙන්වා සිටීම ය
'ඔයා හරිම හොඳයි' කියාවත් නොකීම ය

නුඹට කළ හැකි අනෙක් දෙය
එයා ගැන මා සමඟ කීම ය
මට අපිව එපා කරවීම ය

නැති ලෙසින් කිසි දිනක අද නුඹ
යන්න කලියෙන් හැරිලා බැලුවා
ඉතින් මං දැන් ආයෙත් පළවෙනි දවසේ