Friday, May 22, 2020

නිවේදනය


නොතේරෙන අකුරු ය
මහා දිග වැකි ය
මහතුනි සමා අවසර
මට මේ නිවේදන දැන් අපුල ය

මම නුඹේ කතා පිරි ඇස් දිහා බලන
නුඹ මගේ නර කෙසකට
මහ හඬින් හිනාවෙන
අපි බයෙන් අත් අල්ලගෙන
සමහරවිට නොඅල්ලා ම
කොළඹ පාරක දූවිලි උඩ ඇවිදින
මම එක පාරක් ආදරෙයි කියලා
වචනෙන් දෙකෙන් කියලා දැම්මම
ආදරෙන් මාව කොහොම හරි පරදන
නුඹ ළඟ,
ආයෙත් සැනහෙන දවස ගැන
පෑන් ඉරක් නැති නිවේදන ටික

අමාරුවෙන් කියවා ගතිමි.

ඉක්මනින් අපේ නිවේදනය දැම්මොත් හොඳයි
නැත්තන් මටත් වඩා එයාට දුකයි

Monday, May 4, 2020

ඈ දැකුමෙන් මා හට මෙසේ සිතුණි



සාහිල් පුතේ, ඔයාට කොල්ලෙක්ව බඳින්න කිව්වොත් ඔයා ඒක කරනවද?

- කීයටවත් නෑ

ඒ ඔයා ස්වාභාවයෙන් ම හැදිලා තියන විදිය නිසා. මෙයාලටත් ඒක ඒ විදියමයි. එයාලා ස්වාභාවයෙන් ම හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ බටහිර සමාජ බලපෑමක කෙහෙල්මලක් නෙවේ. ගහලා හිර කරලා තියන එකෙන් මෙයාලගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මේක බෙහෙතක් ඕනි කරන ලෙඩක් නෙවේ. ඒ ආදරය. ඒක විතරමයි. ආදරයක් ලබන එක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්. ආදරය කරන එක කොහොමද අපරාධයක් වෙන්නේ? ස්වීටි පුතේ, මම ඔයාගේ සතුට වෙනුවෙන් ජීවිතේ ම දෙන්නම්. ඔයාට ලන්ඩන්වලට පැනලා යන්න ඕනි වෙන්නේ නැහැ. ඔයා ඔයාට කැමති විදියට ඔයාගේ ජීවිතය ගත කරාවි.

මම හිතුවේ ඔයා අම්මා වගේ කියලා. ඒත් ඔයත් මං වගේමයි. මාත් ආසා කරන්නේ ගෑනු උදවියට.

Shelly Chopra Dharගේ Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) චිත්‍රපටයේ අවසානයේ දෙබසක් මට ඒ විදියට පරිවර්තනය කරන්න හිතුණා. Ek Ladki Ko Dekha Toh Aisa Laga ඉස්සෙල්ලම කනට ඇහෙන්නේ 1942: A Love Story චිත්‍රපටයෙන්. අදටත් පට්ට ගහන සින්දුවක්. ඈ දැකුමෙන් මට මෙහෙම හිතුණා, ඒ වගේ තේරුමක් ඕකේ තියෙන්නේ. එදා එහෙම හිතුණේ අනිල් කපූර්ට. ඒත් අද එහෙම හිතෙන්නේ ඔහුගේ ම දුවණිය සෝනම් කපූර්ට. බහුතරයකට කුණුහරුපයක් වෙන (මොන පදනමකින් ද කියන ප්‍රශ්නය මැරෙනකන් ම තියෙයි මට) සමරිසි සම්බන්ධතාවක් ගැන කියවෙන ආදරණීය චිත්‍රපටයක්.

ගිය අවුරුද්දේ මවිසින් බලන්නට යෙදුණ මේ අපූරු සිනමා ආමන්ත්‍රණය අපේ රටේ ප්‍රේක්ෂක ප්‍රජාවගේ මහා සිනමා රසිකත්වයෙන් ලිස්සලා ඈතට යන්න හේතු මහ ගොඩක් නෑ. පළවෙනි ම හේතුව ආදරය ගැන කයිවාරු ගැසීම මිස ආදරේ කරන්න සහ ආදරේ කරන්න ඉඩ දෙන්න මිනිස්සු විදියට තියන නොහැකියාව. අනෙක් මිනිස්සුන්ගේ ජීවිත, උන්ගේ ආදර කතා, ඉන්න විදිය පාලනය කරන්න හැකියාවක් ඇතැයි කියලා හිතන ගෝත්‍රික චින්තනය. ඒ හින්දම සදාකාලික වේදනාවකින් මිනිස්සුන්ව පෙළන්න තියන්න අමනුස්ස ආසාව. ඉතින් මෙච්චර පොරත්වයක් තමන්ට හිමි කරලා දෙන මාතෘකාවක් ගැන හදපු චිත්‍රපටයක් බලලා නිකන් මොකට ද මොරාල් බස්ස ගන්නේ?

අනෙක් කාරණය තමයි සංවේදි මාතෘකාවක් ගැන ඉන්දීය සිනමාව කතා කරන හැම පාර ම කක්කුස්සි කතන්දර, කුල ප්‍රශ්න, ගෑනුන්ට වඩා හරකුන්ට ගෞරව කිරීම යනාදි විදියට තියන ගැටලුවලින් සිනමාවෙන් ගන්න ප්‍රයත්නය වහලා දාන්න හදන එක. තමන්ගේ රටේ මිනිස්සුන්ගේ මොළ ටික බයිස්කෝප් කෑල්ලකින් හරි හදන්නයි ඉන්දියාව හදන්නේ. නමුත් ඒක බොහෝ බකපණ්ඩිතයන්ට ඒ සිනමාව ප්‍රතික්ෂේප කරන්න ම හේතුවක් වෙලා.

"උඹලා ඔය මොන බයිලා ගැහුවත් වැඩක් නෑ රෙන්නේ පාරේ!"

ඕක තමයි තර්කය.

"ඒ හින්දා තොපි අපිට මල් ගස් වටේ 'කොල්ලෙකුයි කෙල්ලෙකුයි' දුවන බයිස්කෝප් එකක් හදලා දීලා පාඩුවේ හිටාන්. අපි මේ යථාර්ථවාදී සිනමාව කියලා එකක් ඉල්ලලා කරන්නෙත් පොඩි රඟපෑමක්. සිනමාව යථාර්ථවාදී වෙන්නේ ඒක අපිට සෙට් නම් විතරයි."

මම සිනමාවට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ ලෝකයේ හැම විදියෙම මිනිස්සුන්ට තැනක් තියන නිසා. එහෙම තැනක් හැබෑ ලෝකයේ නැති නිසා. සිනමාවෙදි වගේ ම එහෙම බෝඩර් නැති ලෝකයක් හදන්න බය නැතුව අහගන්න වෙන කයිකතන්දර තඹේකට මායිම් නොකර චරිත භාරගන්න නළුනිළියන් සුපිරි වීරයන් වගේ. සෝනම් කපූර් හැබෑ ජීවිතේ කඩවසම් තරුණයෙකු ව කසාද බැඳලා ඉන්නේ. අඩිරූලක් තියලා ගැහුවා වගේ ස්ට්‍රේට් ගැහැනියක්. එහෙම මිනිස්සු මේ වගේ චරිත නියෝජනය කරනකොට ඒක ඇත්ත ලෝකයේ වේදනාවට බලාපොරොත්තුවක් එකතු කරනවා. සිනමාවෙන් ලෝකයක් සම්පූර්ණයෙන් අනික්පැත්ත ගහන්න බෑ. හැබැයි මිනිස්සුන්ට වෙනස් වෙන්න අත දෙනවා. කාලයත් එක්ක සිනමාවෙන් ලබන ඒ සවියෙන් අත් ඔක්කොම එකතු වෙයි. එදාට සමහරවිට අලුත් ලෝකයක් තැනෙයි.

Monday, April 27, 2020

වැඩකට නැති සංවාද - දේව්දාස්



"උඹ....පොඩ්ඩක් කට වහගෙන... මං කියන දේ අහපං... දැන් මේ වෙලාවේ මිනිස්සු නිදි... උඹයි මායි මොකද්ද මේ කරන්නෙ?"

වෙලාව මධ්‍යම රාත්‍රී එක පසු වී විනාඩි හතළිස් පහකුත් ගිහිල්ලා ය. මං නිදි නැත. අතිජාත පාසල් මිතුරු ගවයා ද නිදි නැත. ඌ ෆෝන් එකේ එහා පැත්තේ ය. මම අනික් පැත්තේ ය. හපපු චුයින්ගමේ සහ ඩෙස්ක් එකේ යටිපැත්ත මෙන් යාවජීව බැඳීමක මාත් ගවයාත් බැඳී සිටින්නෙමු. අතිශය බොළඳ කාරණා කීපයක් අපේ මිත්‍ර බන්ධනයේ ඇත. අවුරුදු 25ක් ගිය තැන ද තවමත් ඒවා අපේ ජීවිතේ ය. අපට කතා කරන්න ඇත්තේ ද එච්චර ම ය. අංක එක අයිෂ්වර්‍යා වේ. මේ දුරකතන ඇමතුම මෙච්චර වෙලා ඇදි ඇදි යන්නේ ද එයා නිසා ය. මේ සංවාදය මෙහෙම වන්නට තිබුණ එකක් නම් නෙවේ ය. ඒත් ඒ දවස්වල කැන්ටින් අවශ්‍යතා සඳහා වචනයක්වත් හුවමාරු නොකර දෙන්නා ම අවබෝධයෙන් යුතු ව ඒ ඉසව්වට ගියා වගේ ම මට මොකක් හෝ ගිනිවිජ්ජුම්බරයක් වුණ බව ගවයාට දැනුණා විය යුතු ය.

"හලෝ, මේ උඹ අඬනවා වගේ ඇයි ඔය?"
ඇමතුමේ ආරම්භය නමෝ විත්තියෙන් එය ම විය. කැඩිච්ච ටැප් එකක් මෙන් ඉන්පසු මා කියවාගෙන ගියා මතකය. ගොත ද ගැහුණි. හෙන ම කිණ්ඩිය ය. ගවයාට වුණත් මෙච්චර මගේ බොළඳ බව පෙන්විය යුතු නැත.

"+ නෑ මේ මම දේ...
- හරි මම හිතුවා.. දේව්දාස් බැලුවනේ?
+ ඉඳපන්කෝ කියනකන්. උඹ දන්නවනේ මම බලපු දේව්දාසක් නෑ. මම ඒක යව යව අක්කා ඉන්න ටික විතරයි බැලුවේ. අනේ දුකේ බෑ බං මට නම්. බලපන් ලස්සන. සාමාන්‍ය මනුස්ස දුවක් නෙවෙයි බං...."

අක්කා යන නාමපදය මගෙත් ගවයාගෙත් ජීවිතවල පුද්ගලියන් දෙදෙනෙකුට පමණක් අදාළ ය. එක අක්කෙක් අයිෂ්වර්‍යා ය. අනෙක් අක්කා අයිෂ්වර්‍යා වගේ අප දෙදෙනා ම දන්නා තැනැත්තියක් ය. ඉතින් අප දෙදෙනාට අයිෂ්වර්‍යා පිස්සුව නහුතෙට ම ඇත. එච්චර එකක් තිබිය දී ගවයා ආත්මය පාවා දෙන්නියක ලෙස කතා කරන්නට ගත්තා ය. වැරදීමකින් දේවාලෙක ගිනි පෑගුණ එකියක මෙන් මට එලෝ මෙලෝ නැති විය.

" + මේ උඹට පිස්සුද යකෝ.. ඔච්චර හිතන්න එපා
- මොකද්ද තෝ දැන් හිතන්න එපා කියන්නේ?
+ නෑ එහෙම නෙවේ බං ඔච්චර ඇඟට ගන්න එපා
- ඇයි උඹ ඇඟට අරගෙන නෙවේ ද මෙච්චර කල් හිටියේ? පලයන් බං
+ නෑ බං මම පාලනය කරගන්න පුළුවන් මට්ටමේ කියලා මට හිතෙනවා. උඹේ නම් සෞඛ්‍යය අන්තිමට පිරිහිලා වගේ
- පාවා දෙන්න එපා යකෝ!"

මට සිහි නැති විය. බත් ඔතන් ආපු කොළේක අයිෂ්වර්‍යා හිටිය ද ඒ කෑල්ල ඉරාගෙන දේව භක්තියකින් පොත් අස්සේ හංගාගත් ගෑනිම ද මේ? මේවා අහනවාට වඩා දෙකන් නෑසුණා නම් කියා මට සිතුණි. කන් දෙකෙන් ලේ ගලනවා වගේ ද දැනුණි. මේ වෙලාවේ මේ අවනඩුව අහන්න කිසිම දෙයියෙක් නැත. ඔක්කොම නිදි ය.

" + උඹ එහෙනන් එහෙමයි නේ?
  - නෑ නෑ බං මං කියන එක තේරුම් ගනිං
+ මට බෑ"

උත්තර කෙටි විය. මේකිට පයින් ගසා සිතට සැනසුමක් ලබා ගන්නා තෙක් තව නම් වචනයක්වත් කතා කරන්න මට ඕනෑ නැත. ඒ අවසරයෙන් ගවයා වෙන මාතෘකාවක් ඇදගෙන දොඩවන්න විය. මට ඇහුණේ නැත. ඒකි මොනා කිව්වද මම දන්නේ නැත. ඒත් මම මෙහෙම කිව්වෙමි.

" + ගවේෂිකා.... ගවේෂිකා....
- ඇයි යකෝ!
+ පාරෝ ඇවිත් ගේට්ටුවේ වැදුණ විදියට රිදෙන්න ඇති යකෝ අම්බානෙට
- තෝ ආය දේව්දාස් ගැන කිව්වොත් කට තලනවා. උඹට හැන්ගෝවර් ද? බිව්වේ දේව් ද තමුසෙ ද?" 

හිතෙන් වඳුරු කුණුහරුප කියූ මම ටිකකට කට වසාගත්තා විය යුතු ය. ගිරා පැටව් දෙන්නා දෙතැනකට වැටුණ පරණ කතාව මෙන් උසස් පෙළ නිසා අප දෙතැනකට විය. ලේසියෙන් හමු නොවුණි. උසස් පෙළින් පසු පාරෙ දී හමුවුණ අවස්ථාවක් ඈ සිහියට නගා ගත්තා ය.

" + මේ උඹට මතක ද උඹ අර කොණ්ඩේ ස්ට්‍රේට් කරන් හිටියා?
- ඕ ඉතින්?
+ උඹේ එතකොට උඹේ නැති බොරු විනීතකමක් තිබ්බා බං පාරෙ දි හම්බුණත් එහෙමයි. කතා කරන හැටියෙ බලන හැටියේ.
- හ්ම්ම්ම්. එදා මං උඹ දිහා බැලුවේ පාරෝ දේව් දිහා බලනවා වගේ
+ ඔය බලපන්කො තොට එතනින් ගැලවිල්ලක් නෑ.
- නෑ මට මේ පිස්සු හැදිලා තියෙන්නේ උඹේ පාවා දුන්න නාඩගම නිසා.
+ උඹට තමයි පිස්සු. මම අයිෂ්වර්‍යා ව අමතක කරලා නෑ යකෝ. උඹට තරම් අසාමාන්‍ය වේදනාවක් නෑ ඒකයි.
- හා."

මම තරමක් නිවුණි. ඒ ඇසිල්ලේ ගවයා යළිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණියා ය. උඩට දාන සරුව පිත්තල කෑලි ටික පෙරාගෙන රත්තරන් ජෝගුවකට දැමු එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් දියරයක් මෙන් ඈ කී පහත වදන් මගේ කන් බෙරයේ වැදුණි.

"+ තිසරණී..
- ඇයි තෝ ඒ පාර?
+ පාරෝ පව් තමයි බං. අපේ අක්කානේ
- අන්න එහෙම කතා කරපන්.

තණමල්විල කොල්ලෙක් විචාරය කරන මහප්‍රාණ පණ්ඩිතයෙක් මහපොළවට පැමිණෙනවා සේ ගවයා අපේ පුංචි ලෝකයේ ප්‍රකෘතියට පැමිණ ඇත.

" + උඹ මේ පඬි ටෝක් දුන්නට දැන් බලපන් ඉතින්.. උඹටත් එතනින් මිදෙන්න බෑනෙ
- බෑ තමයි. එහෙම මිදෙනව ද? මම කිව්වේ උඹ සාමාන්‍ය ජීවිතේ එක්ක පටලවගන්න නිසා.
+ ඉතින් මේ මගේ සාමාන්‍ය ජීවිතේ තමයි. මං උඹත් එක්ක අයිෂ්වර්‍යා ගැන නොකියවන දවස තමයි අසාමාන්‍ය වෙන්නේ.
- බං මේ උඹ දැන් අයිෂ්වර්‍යා ගැන ඔච්චර ගැඹුරින් හිතන්න ඕනි කාලෙ ද? රස්සාවක් ගැන හිතපන්
+ ඒවා ඔක්කොම හරි. අයිෂ්වර්‍යා නිසා වෘත්තිය ජීවිතේට හානියක් නෑ."

මගේ වෘත්තිය අනාගතයේ මට ඔබින තැන සොයාගත් සතුටුදායක ප්‍රවෘත්තිය ද මම ගවයාට කිව්වෙමි. නැත්තන් මුන්දෑ මා තනිකර  ඔල්මොරොන්දන් ගෑනියකැයි සිතනු ඇත. චිත්‍රපටයක අයිෂ්වර්‍යා පෙන්වීමට පෙර දැනෙන නාටකීය නිශ්ශබ්දතාවේ සුව එවර අපි දෙදෙනා ම වින්දෙමු. කොළඹ බදුල්ල 99 බස් පාරේ වංගුවකින් බසයක් මතුවන්නා සේ අප දෙදෙනා ම බලාපොරොත්තු වන අනෙක් මාතෘකාව ද ඇදී ආවේ ය. පටන් ගත්තේ ගවයා ය.

" + බං උඹ Jazbaa බැලුවනේ?
- නැතුව යකෝ. මොනවද මේ අහන්නේ
+ නෑ ඒකේ අක්කා වගේ ම නේ බං. තරුණ මවක්.
- සිරාවට බං. සිරාවට ම!
මේ අයිෂ්වර්‍යා වගේ අක්කා ගැන කතාවකි.
+ බලපන්. අපි අපේ ළමා කාලය ම අක්කට කැප කරා නේ බං.
- ඔව් බං. මොකක් කතා කරත් කොහෙන් හරි කැරකිලා එනවා.
+ දැන් බලපන් වෙන ළමයි දෙන්නෙක්ට නම් පාසල් කාලෙ ගැන විවිධත්වයකින් කතා කරන්න තියෙනවා. අපිට එහෙම ද?
- ඒත් ඒකත් සතුටු හිතෙන වැඩක් නේ බං?  

ඇත්තට ම එය සතුටු හිතුණු වැඩකි. සතුට ගැන මම තව ටිකක් කියවන්න කට හදා ගනිද්දී ම වෙලාව පාන්දර දෙකයි කියා ගවයාට නිදාගැනීමේ දැඩි අවශ්‍යතාවක් දැනුණි. කොහොමටත් අපි කතා කරන මාතෘකා හා අතීත ආවර්ජනා ඒ මොහොතේ ම කියා අහවර කරන්නත් බැරි ය. දුව ගොසින් බදාගන්නට තරම් මහ ගොඩක් ආදරණීය දේවල් තිබේ. ඒ ගැන සිත සිතා ම මම ද නින්දට ගියෙමි. ඉර ඉක්මනින් පායනු ඇත.

Wednesday, March 25, 2020

වැඩකට නැති කුණු ලේ


හැරී පොටර් යළිත් නරඹා අවසන මා විසින් ලැයිස්තුගත කළ මගේ ජීවිතයේ "වැඩකට නැති කුණු ලේ" ලැයිස්තුව මෙසේ ය.

#FilthyMudbloods

ආදරය ගැන පල්හෑලි දොඩවන, ඇත්තෙන්ම ආදරය නොකරන වැඩකට නැති උන්

අතපය වගේ ඉඳලා අවශ්‍යම මොහොතක මිනිස්සුන්ව තනි කරන වැඩකට නැති උන්

උපන්ගෙයි තොඳොල් වීමේ හැකියාවෙන් ගේම ගහන කල්ලකපටි වැඩකට නැති උන්

මේ ඉන්න ටිකේ එකිනෙකාට ආදරේ කරගෙන ඉන්නේ නැතුව බොක්කෙ ඩයිනමයිට් හංගගෙන අනෙකන්ට යාළු මිත්‍රකම් එපා කරවන වැඩකට නැති උන් (දේව සාප)

විශ්වාසය කියන ඉතාම හොඳ දේ ඇස් ඉස්සරහම කඩන, එහෙම කරලා ඒ ඇස්වල අයිතිකාරයටම බලු කතා කියන වැඩකට නැති උන්

කිසිම විදියකින් තමන් සුන්දර මනුස්සයෙක් කියලා දන්නේ නැති නිසා කලාකාරයොන්ගේ ලියවිලි කියවිලිවල එල්ලිලා හරි හෙළුව වහගන්න හදන වැඩකට නැති උන්

එකට බත් කාලා අත හෝදන ඩිංගිත්තට අමුතුවෙන් ජාතක කතා හදලා අනික් උන් එක්ක දොඩවන වැඩකට නැති උන්

අනෙක් අයගේ ආදර ජීවිතය ගැන අප්‍රමාණ කුතුහලයෙන් පසුවන, ලිංගික වශයෙන් අප්‍රාණික වැඩකට නැති උන්

තමන්ගේ ජීවිතයේ ඇති අඩුපාඩු වහගන්න බැරි අමාරුවට කට දෙපැත්තෙන් කෙළ පෙරෙනකන් අනෙකන්ට ඊරිසියා කරන වැඩකට නැති උන්

ලෝකයේ තියෙන ව්‍යාජ ගතිය එකසිය ගාණට විවේචනය කරලා ඒ ජරා ගතියට ම සම්මාදම් වෙන වැඩකට නැති උන්

හිනාවේ ඇති ව්‍යාජ ගතිය නිසා ම කොයි වෙලේ හරි මගෙන් මැරුම් කන, ගුටි කන මූණැති, හැබෑ විදියට මූණේ ලේ කඳුළක් නැති වැඩකට නැති උන්

මිනිස්සුන්ව තමන්ට ගොඩ යන්න උපකාරී වන සම්පත් විදියට විතරක් ආශ්‍රය කරන වැඩකට නැති උන්

වාසියට කෙරෙන ආශ්‍රය ජීවන දර්ශනය කරගෙන, අනෙක් මනුස්ස සම්බන්ධතාත් එහෙම වෙන්න ඇති කියලා හිතන වැඩකට නැති උන්

පොල්ලකින් අනෙක් උන්ට හැම වෙලේ ම තඩිබාන ඒත් පොල්ලෙන් ගුටිකන ඩයල් මෙන් රඟන වැඩකට නැති උන්

හොඳට තියෙන මනුස්ස ජීවිත සංකීර්ණ කරවන, එහෙම කරලා ධනාත්මක චින්තන බකපණ්ඩිත කතා වමාරන වැඩකට නැති උන්

අන්‍යයන්ගේ ජීවිත එපා කරවන මට්ටමට පත් කරලා සිය දිවි නසා ගැනීම විසඳුමක් නොවන බවත්, ඕනි වෙලාවක කතා කරන්න තමන් ඉන්න බවත් කියා සෝටල් මීඩියාවල රඟන වැඩකට නැති උන් (මුන් මැරිලාවත් යන්නේ නෑනේ)

තමන්ට කිසිම අයිතියක් නැතත් වයසින්, ආගම් වශයෙන් හෝ ලිංගිකත්වය අතින් අසම්මතයි කියා දෙදෙනෙකුගේ ආදරය විවේචනය කරන මුළු ලෝකයටම බර වැඩකට නැති උන්

තමන්ගේ මයිලක් දිහා බලන් පාඩුවේ ජීවත් වීමට බැරුව අනෙකුන්ගේ කොණ්ඩය, රැවුල, අඳින පළඳින විධිය ගැන වද වෙන වැඩකට නැති උන්

උපාසක අම්මණ්ඩි වේශයෙන් ඉඳ ජීවිකාව සරි කරගන්නා වැඩකට නැති උන්

හූනු බිජ්ජක තරමේ වටිනාකමක් නැතත් ඇඟ පුරාම හීනමානය ඇති වැඩකට නැති උන්

මගතොටේ යනකොට දකින යකඩ කොන්ද අහුමුළුවල දී දෙකට නැවීමෙන් අවසන් කරගන්නා වැඩකට නැති උන්

හැම මිනිහටම තියෙන්නේ එකම හීන, ඉලක්ක සහ ආසාවන් කියලා හිතන වැඩකට නැති උන් (උපන් දවසේ ඉඳන් කසාද බඳින්න ආසාවෙන් ඉන්න ගෝතකරුම මේ අතරින් විශේෂ වේ)

Friday, February 28, 2020

සඳගලතැන්න ආයෙ ආයෙමත්

ඉස්සර දේවල් තමයි ලස්සනම. ඒක මේ මොහොතේ සහ හෙට දවසේ තියන කාලකණ්ණි කැත ගතියෙන් මිදෙන්න නිදහසට කියාපු දෙයක් නෙවෙයි. ඒක වෙන කිසිම පණ්ඩිත තියරියක් ගාවගන්න ඕනි නැති තරමට සදාකාලික සත්‍යයක්. කාට නැතත් ඒක මට හොඳටම අදාළ දෙයක්. අතීතයේ දවසක හොඳ නරක දෙකෙන්ම හිත රිද්දා ගැනීමේ නැති නම් සතුටු වීමේ ගතියෙන් තොර ලෝකයක් මට නෑ. මේ දේවල් මට හිතුණේ ආයෙත් ටීවී එකේ සඳගලතැන්න යන නිසා.

බත් කන වෙලාවට විතරක් එහෙන් මෙහෙන් කෑලි බලාපු නාට්‍යයක් විදියට දැක්කා මිසක් කතාවක් බලන විදියට සඳගලතැන්න බලපු මතකයක් මට නෑ. ඒත් ඒක හරිම ලස්සන බව මතකයේ තිබුණා. ප්‍රදීප් ධර්මදාස සහ හිමාලි සිරිවර්ධන කියන දෙන්නම එතකොට මගේ චයිල්ඩ්හුඩ් ක්‍රෂ් එකේ උඩින් ම හිටියා. ඒ දවස්වල ඇතිවුණ ඒ මනාපයට එහෙම විද්‍යාත්මක නාමයක් තියනවා කියලා දැනගත්තේ ඊයේ පෙරේදා.

හිමාලිගේ තිබ්බේ කවියක කතාවක තියන කෙල්ලකගේ ලස්සනක්. එයා ඔරවන, හිනාවෙන, අඬන, තරහෙන පුපුරන, ආයෙත් හිනාවෙන විදියේ පුදුමාකාර ස්වාභාවික ගතියක් තිබුණා. අද ටෙලි නාට්‍යවල ඉන්න වයින් බෝනික්කෝ එක්ක බලද්දී ඒ ගතිය ඉහටත් උඩින් පේනවා. එතකොට වෙද මහත්තයෙක් විදියට රඟපාන ප්‍රදීප්ට ඒකට ම හරියන පෞරුෂයක් තිබුණා. පාරම්පරික තරුණ වෙදෙක් නම් මෙන්න මෙහෙමයි ඉන්නේ කියන තරමේ ප්‍රසන්න ගතියක් ඒ රංගනය තුළ තිබුණා. හැරුණත් රංගනය තිබුණු තවත් කොලිටි නළු නිළියෝ මේකේ හිටියා. ටෝනි රණසිංහ, මැණිකේ අත්තනායක, සුජානි මේනකා, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, මොරින් චාරුණී මට මතක නම් ටිකක්.

අනික මේකේ තේමා ගීතය අදටත් අහනවනේ. අපි සින්දු කියන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඒත් බස් එකක ජනේලේ අයිනේ සීට්ටෙකේ ඉඳන් ඈත බලන් යන වෙලාවට කියැවෙන ගොඩක් සින්දු අතරේ 'සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ' තියනවා; ඉන්නවා.

දැන් ආයෙත් මේක හැම සතියෙම 8.35ට ජාතික රූපවාහිනියේ යනවා. යූටියුබ් චැනල් එකත් හිතුමතේ අප්ලෝඩ් කරනවා (දෙයියන්ගේ නාමෙට කෑලි කපන්නැතුව පිළිවෙලට දානවා නම්...). මට ඒක බලනකොට ඒ දවස්වල භාගෙට හදාගෙන යමින් තිබ්බ අපේ ගෙදර, හැම ගෙදරකම රැල්ලට තිබුණ LG Flatron ටීවී එක, ටිකකින් නිදාගෙන අනික් පහුවෙනිදට ඉස්කෝලේ යන්න තිබුණ හැඟීම, එක කෙස් ගහක් ඉදිලා නැති අම්මයි අප්පච්චියි, දෙහි ගෙඩියකටත් වඩා පොඩි මල්ලි කියන හැම දේම දැනෙනවා සහ පේන්න ගන්නවා. ඒක අතීතෙට අයිති ඕනි ම නිර්මාණයක් (වෙළඳ දැන්වීමක් පවා) බලද්දී මට වෙන දෙයක්.

සඳගලතැන්න ඉස්සෙල්ලාම බලලා අවුරුදු 10කට විතර පස්සේ මම මේ ඇස් දෙකෙන් හිමාලි සිරිවර්ධනව දැක්කා. ගොඩක් ඈතින් හිටියත් අවුරුදු ගණනකට පෙර රූප පෙට්ටියකින් දැක්ක හිනාවම එතන තිබ්බා. එතකොට අර කරලා තියෙන්නේ රඟපෑමක් නෙවෙයි.

හිමාලිට සඳගලතැන්න නිසා සම්මාන ලැබුණා මතකයි. ඒවා ලැබිය යුතු සම්මාන. එතැනදී ආයෙත් පරණ දේවල් මතක් වෙනවා. රිවයින්ඩ් කරලා බලන්න PeoTV තියා හරි හමන් ටීවි එකක්වත් නොතිබුණ කාලේ ඉඳන් සම්මාන උළෙලවල් එකක් නෑර බලපු කාලයක් තිබ්බා. ලොකු නැන්දා ඉන්න කාලේ ඒවා බලන ගමන් කන්න කඩල තෙල් දාලත් හදලා දෙනවා. අද ඔය මොකක්වත් නෑ.

කතාවක් විදියට නොබලපු සඳගලතැන්න මම අද බලන්නේ කතාවක් විදියට. ඒත් එක්කම මතක මහ ගොඩක් ලැබෙන එකෙත් අමුතු ලකයක් තියනවා. මේ නිර්මාණයට සම්බන්ධ වූ සියල්ලෝ පින් අත්කරගනිත්වා!

Thursday, February 20, 2020

අවසාන දවස


ගෙයින් එළියට බැස්සේ මං අද
අවසාන දවස කියලා හිතාගෙන
බයිස්කෝප් ලස්සනක ප්‍රේමයක් තියෙද්දිත්
නිදිමරාගෙන නුඹ පස්සේ යන
අවසාන දවස කියලා හිතාගෙන

ඒත් මං අදත් පැරදියි
අලුත් පින්සලකින් ඇන්ද හිනාවය
හීතල වෙලාවක දුම් දාන කෝපි කෝප්පෙක කතාවය
නියරක රටා ඇඳි ෆලූඩා පාට දෙතොල් ය
මොන පාටදැයි හරියට මතක නැති මුත්
ජනකතාවක ගම් දැරියකගේ දෑස් ය
කවි පදයක හිර කෙරුමට බැරි වුණත්
මා එක්ක ඒවා දිලිසෙනවා මතක ය
ඇත්තටම ඒ මාත් එක්ක විතරම ය

නුඹට දැන් කළ හැකි එකම දෙය
කිසිවක් මට නොපෙන්වා සිටීම ය
'ඔයා හරිම හොඳයි' කියාවත් නොකීම ය

නුඹට කළ හැකි අනෙක් දෙය
එයා ගැන මා සමඟ කීම ය
මට අපිව එපා කරවීම ය

නැති ලෙසින් කිසි දිනක අද නුඹ
යන්න කලියෙන් හැරිලා බැලුවා
ඉතින් මං දැන් ආයෙත් පළවෙනි දවසේ