Tuesday, June 11, 2019

බැංකු පෝලිමෙන් එළියට

මට නම් බැංකුවල එපා ම කරපු දේ තමයි දන්සල්වලට වඩා ඉබි ගමනින් ඉස්සරහට යන පෝලිම්. ඉතින් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි නම් බැංකු කියන්නේ ඒකට හොඳ ම ස්ථානයක් තමයි. හැබැයි ඔය කිසිම දුක් වේදනාවක් නැති ක්‍රමයක් මට සෙට් වුණා. ඒක තනිකර ම අහම්බයක්. නොහිතපු වෙලාවක දැනගන්න ලැබුණු ඒ අරුම පුදුම ක්‍රමේ හින්දා දැන් පෝලිම් ගාණේ හිටන් ඉන්න මාලා නාටකය ඉවරෙට ම ඉවර කරලා දැම්මා.

ඒක ගැන ගෙඩිය පිටින් මුලින් ම කියලා දානවට වඩා ගල් යුගයේ හිටපු මාව විසි එක්වැනි සියවසේ බැංකුකරණයට සම්බන්ධ කෙරුණු ඒ කතාව කිව්වා නම් හොඳයි කියලා හිතුණා. අන්තර්ජාලය කියන්නේ ෆේස්බුකිය විතරක් ම නෙවෙයි. තවත් සෝෂල් මීඩියා අම්බානෙකට ලෝකේ තියනවා. ඒ අතරින් Twitter කියන්නේ ලංකාවේ අපි අතර දැන් දැන් වැඩිපුර පාවිච්චියට එළි බැහැපු එකක්. මේකේ ඉස්සර ඉඳන් ම හිටපු ලාංකික ප්‍රජාව වසරක් පාසා කට්ටිය ව එක තැනකට එක් කරවලා ආසා හිතෙන වැඩ කීපයක් කරනවා. මේකට දාපු නම තමයි #TweetUpSL. මාත් දවසක් ගියා ඉතින්.

ගියා ම තමයි දැනගන්න ලැබුණේ ඇතුළුවීමේ ගාස්තුවක් ගන්නවා ය කියලා. පර්ස් එක ඇරලා බැලුව ම තමයි හිඟන ජීවිතේ තරම තේරුණේ. ඇතුළට යන්නේ කොහොම ද කියලා උඩ බලාගෙන ඉන්දැද්දී තැඹිලි පාට ටී ෂර්ට් එකක් ඇඳගත්තු, ප්‍රසන්න පෙනුමක් තිබුණු සහෝදරියක් මගේ ළඟට ආවා. 

"Frimi account එකක් හදාගමු ද?"

මම එන මග දිගට Frimi නමින් ලොකු කොඩි වගේකුත් දාලා තිබ්බා. මම ඉතින් එච්චර ගාණකට ගත්තේ නෑ මොකක් හරි අනුග්‍රහය දක්වන කොම්පැණියක් ය කියලා හිතාගෙන. 

"ඒකෙන් මේ වෙලාවේ මට වෙන වාසිය මොකක් ද?" ගත් කටට එහෙම ඇහුවේ කාගෙන්වත් ණයට ඉල්ලා අමනාප නොවී ඇතුළට රිංගා ගන්න එක මේ වෙලාවේ මගේ එක ම ප්‍රශ්නේ නිසා. 

"ආහ් ඔයාට ඇතුළුවීමේ ගාස්තුවේ ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා"

හරිනේ ඉතින් වෙන මුකුත් අහන්න මට ඕනි වුණේ නැහැ. Frimi කියන ඇප් එක මම ඩවුන්ලෝඩ් කරගෙනත් ඉවරයි. හැබැයි මේකෙන් පස්සේ ඇප් එක වැඩක් නැතුව තියාගන්න එකත් තේරුමක් නෑනේ. 

"ඉවෙන්ට් එකෙන් පස්සේ මේකෙන් මට ඇති වැඩේ මොකක් ද?" මට ප්‍රශ්න ගොඩක් තිබ්බ බව තේරුණ හින්දා ද කොහෙද මට මුල ඉඳන් ම හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා.

"මෙහෙමයි. Frimi කියන්නේ Nations Trust බැංකුවේ අලුත් ම වැඩක්. දැන් ලෝකේ හැම දේම ඩිජිටල් වෙලා යන කාලේ. ඉතින් ඒක බැංකු ක්‍රමවලටත් ඇතුල් වෙලා ඉවරයි. Frimi එක තියෙද්දී ඔයාට බැංකු ගනුදෙනු කරගන්න බැංකුවට යන්න ම ඕනි නෑ. අකවුන්ට් එකක් ඕපන් කරන්න බැංකුවට යන්න ඕනිත් නෑ. කොටින් ම කියනවා නම් ඔයා දැන් මේ ඇප් එක පාවිච්චි කරලා කරන්න යන්නෙත් අකවුන්ට් එකක් ඕපන් කරන එක තමයි. ඔයාට අද ඩිස්කවුන්ට් ලැබුණා වගේ ඕන ම තැනක දී Frimi එක්ක ඩිස්කවුන්ට් ගන්න පුළුවන්."

බුබුළු නගින බෙලිකටු කිව්වලු. උපන් දා ඉඳන් බැංකුවේ ගිණුමක් ආරම්භ කරන්න එක එක ෆෝම් පුරව පුරවා පුදුම කට්ටක්නේ කෑවේ. දැන් එතකොට ඒක ඇඟිලි තුඩේ දුර. ඔන්න ඉතින් මම ගිණුම් හිමිකාරිණියක් වෙන වැඩේට අත ගැහුවා. අර සහෝදරී මට අවශ්‍ය කරන උපදෙස් ඔක්කොම දුන්නා.

ඉස්සෙල්ලා ම Frimi ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ සෙල්ෆි ඡායාරූපයක් ගන්න ඕනි අපේ. ඒක අප්ලෝඩ් කරායින් පස්සේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හරි විදේශ ගමන් බලපත්‍රය හරි ස්කෑන් පාරක් දාලා (ෆෝන් එකේ කැමරාවෙන්) අපේ විස්තර පුරවාගන්න අවශ්‍ය වෙනවා. Username, Pin number සහ Device name කියන ඒවත් ඒ ගැම්මට ම පුරවලා දාන්නයි තියෙන්නේ. මේ ඇප් එක ඔයාගෙමයි කියලා තහවුරු කරන්න ඇඟිලි සලකුණ, ඡායාරූපයක් නැත්තම් හඬ පටයක් ඇතුළත් කරන්න පුළුවන්. එච්චරයි ඉතින්.

ඇප් එක දාගෙන ගිණුමක අයිතිකාරිනියක් වෙන්න විනාඩි 5ක්වත් ගියේ නෑ. කොහොම හරි ගිණුම හැදුවට පස්සේ මට ඕනි කරන සල්ලි ටික අර සහෝදරිට දුන්නා. එහෙ බලලා මෙහෙ බලනකොට මගේ ගිණුමේ සල්ලි. චීටා කෙනෙක් ෆෙරාරියක් පදිනවා වගේ වේගෙකින් මුදල් ගනුදෙනු වෙනවා. තනියම ඉන්න වෙලාවක අකවුන්ට් එකට මුදල් දාගන්නවා නම් වෙන ඕනි ම බැංකු ගිණුමකින්, NTB CDM මැෂිමකින් වගේ ම CEFT ක්‍රමය හරා online මුදල් ගිණුමට බැර කරගන්න වගේ ම ඔයාගේ මාසික පඩිය වුණත් Frimi එකට එන විදියට හදාගන්න පුළුවන්. 

Frimi භාවිත කිරීමේ සැප රට වටේ තියෙන අවන්හල්, ඇඳුම් විලාසිතාගාර, සිනමා වගේ ගොඩක් අංශවලට විහිදිලා තියෙනවා. වෙනදා දෙන ගාණට වඩා සුවර් ඇන්ඩ් සොට් ඩිස්කවුන්ට්. පස්සේ මම ඕක මගේ යාළුවෙක්ටත් කිව්වා ම මිනිහා කිව්වේ නැතෑ ඒකෙන් බිල් ගෙවන්නත් පුළුවන් කියලා. ඩෙබිට් කාඩ් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන් තරමට දැන් Frimi ලංකාව පුරා පිළිගන්න සේවාවක් වෙලා තියෙනවා. මොබයිල් එකෙන් ම ඕනි ම බැංකුවකට මුදල් යවන්නත් පුළුවන්. වාසි ගොඩයි. 

Frimi එකට පින් සිද්ධ වෙන්න බැංකුවකට ගොඩ වැදිලා දැන් අවුරුද්දකටත් වඩා වැඩියි.

No comments:

Post a Comment