Saturday, May 18, 2019

කොන්දේසි විරහිත ව යුධ ජයග්‍රහණයේ නායකත්වය අගය කිරීම.

අනික් රටවලට වඩා ගොඩක් දේවල්වලට නිර්වචන ඉදිරිපත් කරන්න අපේ රටේ මිනිස්සු දක්ෂයි. හැබැයි දේශපාලනය කියන එක අර්ථකථනය කරන්න යද්දී ඡන්දය සහ 225 ගැන කියවන එක ඇරෙන්න වෙනත් දේශපාලන කතිකාවතක් අපේ රටේ නැති එක ලොකු අඩුවක්. දේශපාලනය කතා කරන්න ඕනි ම වෙලාවට 'අදවත් දේශපාලනේ කතා නොකර හිටපන්' කියන තැනට මිනිස්සු වැටෙන්නේ ඒ නිසයි. ඒකට සාධාරණ හේතුවක් තියනවා. මොකද දේශපාලනේ කියන්නේ මෙන්න මෙච්චරයි කියලා රාමුවක් අපිට අපේ නායකයන් පෙන්නලා දීලා තියෙන නිසා. ඒ නිසා රට සම්බන්ධ අනෙක් කාරණාවල දී ත් දේශපාලනයේ තිබුණ මැදිහත්වීම අපිට පේන්නේ නැහැ.

සාමෙන් ඉන්න පුළුවන් එහෙම ඉන්න පුංචි ම හරි අදහසක් තියෙන මනුස්සයෙක් එක්ක. ඒත් ප්‍රභාකරන් කියන්නේ තනිකර ම මිනිස් ලේ ගඳ ඔළුවට ගහපු සතෙක්. ඒ සතා කැබිතිගොල්ලෑවේ අහිංසකයෝ 68ක් එලොව යැව්ව වෙලේ එවක ජනාධිලති එදා ඒ ගමට ගියා. බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මැරිලා වැටිලා ඉන්නවා දැක්කා. නිජබිමක අයිතිය ගන්න කියලා මාවිල්ආරුව වහලා දාලා තමන්ගේ ම කියලා කියා ගත්තු මිනිස්සුන්ට හාමතේ ඉඩ අරින්න දුන්නු ගෙවලයෙක් එක්ක මොන සාමයක් ද? ඒ වුණත් සාම නියෝජිතයෝ කියන උන්දැලට කියලා බැලුවා. ප්‍රතිචාරයක් නොලබපු තැන මාවිල්ආරුව ඇරියා. ඒ ඇරපු ඇරිල්ලට අන්තිමේ හොයාගන්න පුළුවන් වුණේ ඔළුවේ කෑලිත් නැතුව නන්දිකාඩාල් පැත්තෙන්.

මේ කිසිම දෙයක් ඉබේ සිදු වුණ දේවල් නෙවෙයි. මේ යුධ ජයග්‍රහණය රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සිදු වුණ එකක්. ඒ බව ඇත්ත. හැබැයි රණවිරුවන්ට රට බේරගන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නු නායකත්වය ගැන වචනෙකින් හෝ සඳහනක් නොකර සමරන නිදහස ශ්‍රී ලාංකිකයන් විදියට අපට වටින්නැති දෙයක්. ආරක්ෂක අංශ මාවිල්ආරුව ඇරියේ, යුද්ධ කරන්න පෙරමුණට ගියේ හිතුමනාපෙට නෙවෙයි. ඒ මිනිස්සු ළඟින් ම සේනාධිනායකයෙක්, ආරක්ෂක ලේකම්වරයෙක්, හමුදාපතිවරු ත්‍රිත්වයක් හිටපු නිසයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක දී දේශපාලන අධිකාරිය දෙන නියෝග තමයි පිළිගන්නේ. සරල ව ම කියනවා නම් එදා ආණ්ඩුව එපා කිව්වා නම් රණවිරුවා යුද්ධ කරන්න යන්නේ නෑ. ඒ දේශපාලනය බත්පැකට් එකෙයි අරක්කු කාලෙයි දේශපාලනය එක්ක උවමනාවෙන් පටලවාගෙන දේශපාලන එදිරිවාදිකම් පිරිමහගන්න අද වගේ දවසක නම් කොහොමටවත් බෑ.

මරුවා කට අස්සේ තියන් සතුරා එක්ක රණවිරුවා හෙට්ටු වෙද්දී අනික් රටවල අසහනකාරයෝ එක්ක හෙට්ටු වෙන්න සිද්ධ වුණේ දේශපාලන නායකත්වයට. මේ යුද්ධේ දින්න බෑ බෑ මයි කියලා කෝඳුරුවෝ වගේ කැරකි කැරකි හිටපු මිලිබෑන්ඩ්, කුෂ්නර්, සෝල්හයිම් වගේ මිනිස්සුන්ට ගෙදර යන පාරවත් හොයාගන්න බැරි විදියේ දේවල් තමයි එදා රටේ නායකයා කිව්වේ. ඒ මිනිස්සු කීයටවත් හිතන්න නැතුව ඇති තුන්වැනි ලෝකයේ රටක නායකයෙකුට මේ වගේ පෞරුෂයක් තියෙනවා ය කියලා. ඉතින් මොනා කරන්නැයි හැරිලා ගියා මිසක. කිසිම හේතුවක් මත පටන් ගත්ත යුද්ධය නතර කරන්න ජනාධිපතිට වුවමනා වුණේ නෑ. ආහ් මේකත් බලන්න https://youtu.be/iSpgQ7PA1-Y

එක එකාගේ ඇඟිලි ගැහීම් අස්සෙ බැරි වෙලාවත් යුද්ධය නැවැත්තුවා නම් කොල්ලොන්ගේ මොරාල් බහිනවා. කොටියා තව තවත් ශක්තිසම්පන්න වෙනවා. අදටත් ඇහුවා ම ඇඟ හිරි වැටෙන 'මුහුද දෙබෑ කරන - අහස පොළව සිඹින' සින්දුව ප්‍රමුඛ කරගත්තු 'අපි වෙනුවෙන් අපි' කියන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයාගෙ වැඩක්. ගජබා රෙජිමේන්තුවෙත් සෙබළෙක් වෙලා හිටපු එතුමා තමයි මේ යුධ ජයග්‍රහණයේ මොළකරුවා කියලා රාජපක්ෂ ෆෝබියාවෙන් පෙළෙන්නන් පවා දන්නවා. යුද්ධය නතර කරන්න කියලා සුදු බබාලා ඇවිල්ලා වද දුන්නේ ජනාධිපතිටත් වඩා ආරක්ෂක ලේකම්ට. ඒ කතන්දර අහලා නවගුණවැල අල්ලගෙන හිටියා නම් අද වෙනකොට අපි මැරුණු තැන්වලත් කොටියෝ බල්ටි ගහනවා.

යුධ ජයග්‍රහණයෙ නිසි කෘතගුණ සැලකීම සිද්ධ කරන තැන දී රණවිරුවන් ව වගේ ම මොවුන්වත් අගය කළ යුතුයි. දේශපාලන එදිරිවාදිකම්වලට වෙනදා එහෙ මෙහෙ යන ඇට නැති දිව අද දවසේවත් අවදි කළ යුතුයි. හෙට ඉඳන් ආපහු බනින්න පුළුවන්.

හිටිහැටියේ මධ්‍යස්ථ මතධාරියෙක් වුණ මගෙ මිතුරෙක් මට කිව්වා 'දැන්වත් කඩේ යන එක නවත්තපන්' කියලා. උපන් බිමෙහි ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවක දී බය නැතුව වැඩ කරන ඕන ම නායකයෙක්ට ඔය කියන විදියේ කඩේ යැවිල්ලක් ඉබේ ම වෙයි කියලා හැබැයි මට හිතෙනවා. මොක ද හැම දේට ම වඩා ජාතික ආරක්ෂාව වටින බව වෙන කවදාටවත් වඩා අද තේරිලා තියන නිසා.