Thursday, February 14, 2019

තිසරණී වෙනස්, හැබැයි කෙල්ලෙක්!


'ටීචර් මේකයි. මේ සමාජේ අනික් අම්මලා තාත්තලා එයාලගේ දුවලා හැදුවේ මල් වගේ. ඒත් මගේ අම්මයි අප්පච්චියි මාව හැදුවේ ගහක් වගේ. ඒකයි මල් කෙල්ලොන්ගෙයි මගෙයි වෙනස!'

මං මීට කලින් කවදාවත් මං වෙනුවෙන් කතා කරලා තිබ්බේ නෑ. ඒත් එහෙම කතා අහලා අහලා ම බැරිම තැන අද මම ඒ දේ කරා. තව අවුරුදු දහපහළොවකින් ඒක මතක් කරගෙන තනි ආතල් එකක් ගන්න ඕනි නිසා මේක බ්ලොග්ගත කරන්න ඕනි ය කියලා හිතුණා. මං කවු ද? මට අනන්‍යතාවක් තියෙනවද? මගේ පර්සනැලිටිය මොකක් ද? වගේ බහුබූත ප්‍රශ්න මට ඉස්සර තිබ්බේ නෑ. ඒවට උත්තර හොයන්නැයි කියලා මට සමාජයෙන් බල කරෙත් නෑ. අම්මයි අප්පච්චියි කොහෙත් ම ඒ ගැන තැකුවේ නෑ. ඒ දෙන්නා මාව හදපු හැටි ගැන ලියතැහැකි මට වෙන ම. ඒ කිව්වේ හෙන මරුමුස් විදියට නෙවෙයි. අලි හුරතලේට. හැබැයි අනික් බොහොමයක් කෙල්ලො වගේ කොමළෙට නෙවෙයි.

මේ ඔක්කෝ ම ප්‍රශ්න පටන් ගත්තේ විශ්වය අතැඹුලක් වගේ බලන්න පුළුවන් විස්මකර්ම මිනිස්සු ඉන්නවා ය කියලා අහලා තිබුණ විශ්වවිද්‍යාලේ කියන එකට ආවායින් පස්සේ. ආපු පළවෙනි දවසේ මූණෙ මහ මජර පාටක් තිවුණ, මේ මට දෙකට නවලා කිහිල්ලේ ගහගෙන යන්න පුළුවන් සයිස් එකේ අක්කා කෙනෙක් 'ෆස්ට් ඉයර්' කියලා කතා කරා. ඕකට අඩිය තියන්න කලියෙන් උපදෙස් ලැබිලා තිබුණේ කියන දෙයක් අහගෙන බිම බලන් ඉන්නැයි කියලා. මුන්දැ මට ළඟට එන්න කියලා අහපු දෙයින් මට බිම බලන් ඉන්න බැරි වුණා.

'ඇයි කොණ්ඩේ කපලා ඉන්නේ?'
'මොකක්?!' (ඒක මම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි)
'ගෑණු ළමයෙක් වුණාම කොණ්ඩේ වවන්න ඕනි. මොකද්ද මේ!'

දණ්ඩකින් කාපු සර්ප දණ්ඩෙකුට රිදෙන තරමට මට රිදුණා. ඒ දවස්වල උදේ ඉඳන් අහන්න ලැබුණේ නිදහසේ අධ්‍යාපනයයි - අධ්‍යාපනයේ නිදහසයි කියලා එකක් ගැන. කැමති විෂයක් විශ්වවිද්‍යාලයට ඇවිත් තෝරගන්න විද්‍යාර්ථියෙකුට තියන අයිතිය ගැන. එහෙම පසුබිමක ඉඳන් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න ඩයල් එකක් තමන්ගේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් ම වෙනස් ප්‍රශ්නයක් මගෙන් ඇහුවනේ. අනික බාහිර සමාජෙට වඩා වෙනස් ව හිතන අයයි මෙතන ඉන්න ඕනි. ඒ මදිවට එයා එතැන දී කරේ මට මං වීමේ අවකාශය ප්‍රශ්න කිරීමක්. මොන හු! මම හිතට ධෛර්‍යය අරගෙන එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා (අපිට කියලා තිබ්බේ එයැයිලගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා).

'නිදහසේ අධ්‍යාපනයයි අධ්‍යාපනේ නිදහසයි තියෙන්න ඕනි නම් මට මං වෙන්න නිදහසක් නැද්ද?'

උන්දැ මට උත්තරයක් දුන්නෑ. යන්න කිව්වා. ඒ එක මනුස්සයගෙන් මට විශ්වවිද්‍යාලයේ ඉන්නවාය කියන සොඳුරු මිනිස්සු ගැන සංකල්පය සම්පූර්ණයෙන් ම නැතිවුණා. ඒ මූණුවලින් මට කිසිම මානව දයාවක් පෙනුණේ නෑ ඊට පස්සේ. හැමෝට ම තිබ්බේ කැත ම කැත ජජ්මන්ටල් මූණු. එහෙම අය නිර්මාණය කරන උපසංස්කෘතියකට හේත්තු වෙන්න මට ඕනි වුණේ නෑ. මම අයින් වුණා.

මම කරන පාඨමාලාවේ විසිපහක් ඉන්නවා මිනිස්සු. එයාලත් උපසංස්කෘතිය පිළිකුල් කරපු අය. ඉතින් මං හිතුවේ මෙයාලා නම් ඉපදෙනකොට ම නෙළුම් මල් හතක් උඩ ඉපදුණු මට්ටමේ බෝධිසත්වයෝ කියලා. ඒක නැති වෙන්න ඕනි ම නම් මාස දෙක තුනක් යන්න ඇති. මං අඳින විදිය, මං ඇවිදින විදිය, මං දාන බාටා කෑලි දෙක, මගෙ ඩෙනිම, මගෙ කොණ්ඩේ මේවා කමක් නෑ කියමුකෝ ඔක්කොට ම වඩා මගේ කෙලිකම සම්බන්ධයෙන් ප්‍රශ්න මේ බොහොමයක් දෙනාට ඇතිවුණා. මගෙන් කෙලින් ම අහන්න බැරි වුණත් මං ගැන හිතේ ඇති වෙන ප්‍රශ්න උන්ගේ මූණුවලින් පෙනුණා. සමහරු නම් ඉතින් කියල ම දැම්මා. 

අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා විශ්වවිද්‍යාල වරම් අරගෙන ආපු උන්ගේ මානසිකත්වය වැල්ලේ ගෑණුන්ටවත් වඩා අන්තයි. පාසල් මානසිකත්වය කියන එක හැම එකට ම වඩා උතුම් ද? මොකද උන් මාව මොහොතකටවත් තිසරණී වීම නිසා තනි කරේ නෑ. අන්තිමේ මිනිස්සුන්ව උන් කවුද කියන එකට වඩා උන් කවුද වෙන්න ඕනි කියන තැන ඉඳන් ලොන්ත ටෝක්ස් ඉෂූ කරන කයිවාරුකාරයෝ ටිකක් මැද මගේ ජීවිතේ හොඳම අවුරුදු කීපය ගෙවෙන්න ගත්තා. මට හිටියා රූම්මේට් කියලා එකියක්. අනික් උන්ගේ මූණෙන් දැකපු දේවල් කටින් ම මම අහගත්තා. මට විතරක් නෙවෙයි තව හතර වටේට මං ගැන කයිකතන්දර කියන්න තරම් ලැට් පෝච්චියක් වෙන්න හැකියාවක් විද්‍යාර්ථියෙකුටත් තියෙන බව ක්‍රියාවෙන් ම ඔප්පු කරා.

මමයි අම්මයි අප්පච්චියි මට ආදරේ කරන මනුස්සයයි ඇරෙන්න අනික් ඔක්කොට ම තිබුණ සාහසික ප්‍රශ්නය මම කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි? දැන් මොකද්ද ඔය? මුන් හදාගන්නවා රාමුවක් ආහ් මේන් මෙහෙමයි කෙල්ල කියන අයිටම් එක. ඔය රාමුවෙන් පිට පැන්නොත් තෝ කෙල්ලෙක් නෙවෙයි. තොට වෙන්නේ ජීවිත කාලෙම අපේ කතන්දර අහගෙන ඉන්න තමයි. ඔන්න ඕකයි සාරාංශේ. මම කලිසම් අඳින්නේ, ටී ෂර්ට් අඳින්නේ මට කොල්ලෙක් වෙන්න ඕනි නිසාවත් වෙන මොන හත්තිලව්වකටවත් නෙවෙයි. මට පහසු නිසා. ඒත් ඉඳලා හිටලා මම ගවුමක් කාරිය ඇඳලා සමාජය සතුටු කරනවා. ඒක හාමතේ ඉන්න බල්ලොන්ට මස්කටු විසි කරලා ගන්නවටත් වඩා පින් අත් වෙන දෙයක්.

මගේ ගුරුවරු නිසයි මම අද තැනක ඉන්නේ. ඔව් ඇත්තෙන් ම. මට උගන්නපු, ඉගැන්නුවේ නැති බොහොමයක් ගුරුවරු මට පුදුමාකාර විදියට ආදරේ කරා. අදටත් පාරක තොටක දැක්කම නොදැනුවත්ව ම ළඟට ගිහින් කකුල් දෙක අල්ලලා වඳින්නේ ඒ ආදරේ මම විඳපු නිසා. තිසරණී කියන කෙල්ල ව හැදුවේ ගුරුවරු. මං දිහා ඒ හැමෝම බැලුවේ ආඩම්බරෙන්. මම ඉස්කෝලේ යන කාලේ ස්ටාෆ් එකේ වැඩි ම ආදරේ ලබපු කෙල්ල මම කියලා වුණත් කියන්න මගේ දිව පැටලෙන්නේ නැහැ. හැබැයි මට රිදුණ තැන් කීපයක් තිබුණා. අද මේ දේ ලියන්නෙත් ගුරුවරු කීපයක් මගේ තුවාලයක් පාරපු නිසා. 

කැම්පස් එකේ ඉඳන් බදුල්ලට ආපු ගමන් තඩි බෑග් එකත් කරේ තියාන ගියේ මම අප්පච්චි ළඟට. අවුරුදු දහය සම්පූර්ණ කරපු ගුරුවරු මාරු කරා. අප්පච්චි මෙහේ ප්‍රධාන බාලිකාවක සේවය කරනවා. ඉතින් එහෙට ගියාම ඉස්ටාෆ් රූම් එකේ දී මාව හදපු ඉස්කෝලේ ගුරුවරියන් කීප දෙනෙක්ට මම මැදි වුණා. මම එතෙන්ට ගියේ වැඳලා ටිකක් කතා කරලා එන්න. අන්තිමේ මට වුණේ වෙන දෙයක්.

'දැන් නම් කෙල්ලෙක් වගේ'
'තැන්පත් වෙන්න සෑහෙන අමාරු වෙන්න ඇති'
'අම්මෝ කලින් හිටපු විදිය'
'දැන් හොඳයි ඔහොම'
'ඉස්සර තනිකර කොල්ලා'

මගේ පපුවට ඊයම් බරු කීපයක් ම කිඳා බැස්සා. ඔය අතරේ හිටියා මට ඇත්තට ම ආදරේ කරපු, ආඩම්බරෙන් මා දිහා බලපු දෙතුන් දෙනෙක් ම. අනික් අය කියන දේවලට මම මොකක් හරි පිළිතුරක් දෙයි කියලා බලපොරොත්තුවක් ඒ ඇස්වල තිබුණා. ඉස්කෝලේ යනකොටත් ඔය කොලු කතන්දරේ මගේ හක්කේ තියලා ඇරපු ආචාරිණී කෙනෙක් 'ඉස්සර තනිකර කොල්ලා' කිව්ව ගමන් මම මං වෙනුවෙන් කතා කරා.

'ටීචර් මේකයි. මේ සමාජේ අනික් අම්මලා තාත්තලා එයාලගේ දුවලා හැදුවේ මල් වගේ. ඒත් මගේ අම්මයි අප්පච්චියි මාව හැදුවේ ගහක් වගේ. ඒකයි මල් කෙල්ලොන්ගෙයි මගෙයි වෙනස!' මේක කියලා ඉවර වුණාම මගේ ඇස් දෙකේ කඳුළු. හැබැයි මම එකක් ඇහෙන් වැටෙන්න දුන්නේ නැහැ. කඳුළු ආවේ මාව මං ඉන්න විදියට පිළිගන්න අම්මෙක් අප්පෙක් ඉන්දැද්දී මේ වගේ සමාජයක ජීවත් වෙන්න ලැබීමේ ඛේදවාචකය මතක් වෙලා. ඒ දෙන්නා වචනයක් නොකියා මාව හදපු විදිය මතක් වෙලා.

තිසරණී කියන කෙල්ල ව තිසරණී විදියට මිසක් කොල්ලෙක් විදියට නො දකින එළකිරි පුද්ගලයෝ ටිකක් මගේ ජීවිතේ ඉන්නවා. මම උඹලට ආදරෙයි. හැබැයි අනික් උන්ගේ මයිලක් ගාණේ මම වෛර කරනවා. සමාජෙට හොඳ මූණ පෙන්නගෙන කොයි වෙලෙත් වචනෙකින් හරි අනිකාව රිදවන්න බලන් ඉන්න හොරිකඩ හැත්ත ගාවට ගිහින් උතුරු සළුව දාන් ඉන්න මට බැහැ.

අපි ඉන්න රටට අමුතු ඇටේ අරක මේක කියලා කෝචෝක් කරනවා. දේශපාලනඥයන්ට පළු යන්න බනිනවා. ඒත් උන්ගෙයි තොපිගෙයි වෙනස මොකක් ද? මේක අමුතු ඇටේ කරේ තොපිලැයි ගල් යුගේ ආකල්ප නිසා නෙවෙයි ද? අපි එකිනෙකාව උන් කවුද කියන එකට උන් ව පිළි අරන් සතුටින් ජීවත් වෙන්නේ නැත්තේ ඇයි? අනික් මිනිස්සුන්ගේ බාහිර ස්වරූපය, ඇවතුම් පැවතුම්, ජීවිතයේ ගන්නා තීරණ කියන ඔක්කො ම ඉත්තෑවෝ ටික දාගන්න තරම් ඔයාලගේ ඒවා ලොකු ද?

තවකෙක් විවේචනය කරන සැණින් හෙන ම ගැහේවා! ❤️

No comments:

Post a Comment