Saturday, February 24, 2018

පව්ව

"කොහෙද පිස්සු ** ගෑණු දෙන්නා ඉන්නේ?" දෙවන ලෝක යුද්ධ කාලයේ රේඩියෝවකින් නැගෙන ශබ්දයකට සමාන ඩැනීගේ කටහඬ ෆෝන් එකේ එහා පැත්තෙන් මතු වුණා.

"IT ලැබ් එකේ ඉන්නේ බන්. අපි හිතුවේ උඹ එන්න පරක්කු වෙයි කියලා. අපි දෙන්නා කූඹියෝ බලනවා"

"මෙන්න මෙහේ වරෙන් ***"

"අනේ බන් පොඩ්ඩක් තේරුම් ගණින්. මේක දැන් ඔන් වුණේ"

"****"

දෙමළ සෙටිපිකැට් කෝස් එකේ විභාගය තිබ්බේ තුනට නවපු කුඩයක් වගේ තුනට කඩලා. උදේ වරුවේ එක කලින් ම ලියලා මායි ටනූසායි එක්සෑම් හෝල් එකෙන් එළියට දිව්වේ කූඹියෝ එකේ මගහැරුණු එපිසෝඩ් ටික බලාගන්න. අන්තිම පැය භාගයත් හෝල් එකේ ඉන්න බවට වියත් සිළුමිණි ස්වරූපයක් ඩැනීගෙන් දිස් වුණ නිසා අපි හිතුවේ ඌ එනකන් නිවිහැනහිල්ලේ එපියක් දෙකක් බලන්න.

ලැබ් එකේ කොම්පියුටර් එකක් ඔන් වෙන්න යන වෙලාව ශිෂ්ටාචාරයක් ගොඩනැගිලා ඒක නැතිබංගස්ථාන වෙලා යන වෙලාවට සමානයි. ඔන් වෙනකොට ම බඩගින්න ඉස්මොල්ලෙට ම ගහපු ඩැනීගෙන් අපිට කෝල් එක ආවා. පිංසෙණ්ඩු වෙලා එක ම එකක් බලාගන්න කාලය අපි ඉල්ලගත්තා. ලැබ් එකෙන් එළියට ආවා ම බංකුවක් උඩ ඉඳන් ෆෝන් එකේ එල්ලිලා මල් පාත්තියකට ම රෝසකැට දාන ඩැනී ව දර්ශනපථයට හසු වුණා.

"මගේ බෑග් එකත් අරන් වරෙන් මම අරූ ගාවට යන්නම්" ටනූසාව නාට්ටාමි සේවෙට පංගාර්තු කරලා මම ඩැනී ගාවට ඇදුණා. අනික් එවුන්ව තනිකර ජෝක්ස් එකක් බවට පත් කිරීමෙන් ජීවිතයට එක් වරක් පමණක් හිමිවන ‍යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය විසි වතාවක් විතර ගත්තු ඩැනියා නෙළුම් මල් සුවඳින් පිරුණ මුව පොඩ්ඩ විවර කරා.

"ගිජිකුළු පව්ව ආවා" ෆෝන් එකේ එහා පැත්තේ හිටිය හාදයාට මගේ පැමිණීම ගැන වාර්තාව ලැබුණේ එහෙමයි. අතින් කටින් බෑග් එල්ලන් ආපු ටනූසාට මම මගේ අවනඩුව කිව්වා. "බලපන් මූ මට ගිජිකුළු පව්ව කියනවා....."

"ඒ මොකක්ද ඒ???" ඒ වචන තුනේ බලයට ඩැනියගේ කෝල් එක ඉබේ ම කට් වුණා. ආතල් සම්භාරයක ආරම්භය නේද මේ කියලා මමත් සැදීපැහැදීගෙන හිටියා.

"ඈ යකෝ තෝ ගිජිකුළු පව්ව දන්නේ නෑ?!"

"අර්..ම්ම්ම්ම්ම් මොකක් හරි පව්වක් නේද?" මගේ යටිබඩ රිදෙන්න පටන් අරන් තිබ්බේ. ඩැනියා අපස්මාරේ හැදුණ ලෙඩෙක් වගේ බලාගෙන හිටියා.

"හා කියපන් පව්ව කියන්නේ මොකද්ද?" ඒ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගියපු කාලය ඇතුළත ඇලෙක්සැන්ඩර් අධිරාජයාට ලෝකේ තවත් පැත්තක් යටත් කරගන්න ඉඩ තිබ්බා.

".... මවුන්ටන් එකක් නේද?" මලලසේකර ඩික්ෂනරියකින් මගේ ඔළුවට ගැහුවා වගේ වේදනාවක් මට දැනුණා. මම ඩැනියගේ තත්වය දිහා බැලුවේ නැති වුණත් ඌටත් හෙනට ම අමාරුයි කියලා මට තේරුණා.

"උඹ මවුන්ටන් ඩිව් එකක් ගහලා මවුන්ටන් එකකින් ම පැනපන් අම්මා"

දවසේ අවසානයේ හොඳ වැඩ දෙකක් වුණා. ගිජිකුළු පව්ව කියන්නේ මෙන්න මේකටයි කියලා ටනූසා ඉගෙනගත්තා. අනික් එක ටනූසාට තියෙන කෙළ කෝටියක් නම්වලට ගිජිකුළු කෑල්ලත් එකතු වුණා.

Friday, February 9, 2018

හබකේ උපත

කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ කිසිම දිනක බිහි නොවුණු විදියේ විද්‍යාර්ථියෝ  තුන් දෙනෙක්ගේ කතාව මේක. උන් තුන්දෙනා අක්කලා නංගිලා නෙවේ ඇත්තට ම මොකද එක බඩවැල කඩන් එන්න තරම් සංයමයක් නෑ එකෙක් පයින් ගහලා අනික් එකා මැරෙන්න වුණත් පුළුවන්කමක් තියනවා අම්මගේ බඩේ ඉඳන් ම. හැබැයි උන්ගේ හැම මයිටොකොන්ඩ්‍රියමක් පාසාම තියෙන්නේ එකිනෙකාට තියෙන ආදරේ. ඒක නිසා ඒ තුන් දෙනා පවුලක් වෙන්න හිතාගත්තා. වරිග පරම්පරාවට නමක් ලැබුණා හබක් කියලා. හබක් මුදියන්සේලාගේ මහා හබකි (ඩැනී), මද්දුම හබකි සහ චුල්ල හබකි (ටනූ) කියලා පිළිවෙළින් නම් දාගෙන අන්තිමට පිස්සු **** ගෑණු තුන්දෙනෙක් වෙලා ජීවිතේ ම විහිළුවක් කරගත්තා.

මම මද්දුම හබකි. මේ හබක් සීන් එකට මුල මම. ඒ නිසා මේක ජනසතු කරන එක මගේ වගකීම. හබක් වෙන්න කලිනුත් අපි තුන්දෙනා පට්ට කොමිකල් චරිත තුනක්. හිස්ටීරියා රෝගයේ උග්‍ර ම අවස්ථාවේ ඉන්න ලෙඩ්ඩු තුන්දෙනෙක් වගේ අපි හැම මගුලට ම හිනා වෙනවා. බල්ලෙක් දැක්කත්, ගහක කොළයක් හෙලවුණත් කොටින් ම කියනවා නම් එකිනෙකාගේ හබක් මූණු දැක්කත් හිනා වෙනවා. හොඳ ම සීන් එක වෙලාවකට අපි හිනා වෙන ගමන් එකිනෙකාගෙන් අපි මොකට ද හිනා වෙන්නේ කියලා අහන එක. හේතුවක් නෑ. අනික් එකා හිනා වෙනවා දැක්කොත් අපිත් හිනා වෙනවා. බස් එකේ යන වෙලාවකට හබක් මූණු, හබක් කතන්දර මතක් වෙලා කඳුළු බේරෙනකන් හිනා වෙලා සමාජයට විහිළුත් සපයනවා.

සෙමැන්ටික්ස් කියලා දෙයක් අපි ඉගෙනගත්තා. ලෙක්චර් එක කරේ ඩිපාට්මන්ට් එකේ ඉන්න කරුණාවන්ත ම සර්. හැබැයි තිබ්බ වෙලාව නිදිමත කැත විදියට එන නපුරු වෙලාවක්. එකමත් එක දවසක ඒ ලෙක්චර් එක යන වෙලාවේ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වගේ සර් කියන ඒවා මම අහන් හිටියා. මොකක් හෝ පූර්ව මහිමයකට මමයි ඩැනීයි එදා හිටියේ ඉස්සරහ ම පේළියේ. දැන් ලෙක්චර් එක යනවා මට ඇහෙනවා. හැබැයි මම හිටියේ මේ ලෝකේ නෙවේ තව්තිසාවට පොඩ්ඩක් මෙහාට වෙන්න.

"දැන්... අපි එක් එක් වස්තුවලට නිශ්චිත නමක් කියනවා. අපිට ඕනි නම් පුළුවන් පොතට පෑන කියලා කියන්න... ඔය වගේ ඕන ම ප්‍රාදේශීය ව්‍යවහාරවල තියන වචනත් ගන්න පුළුවන්"

අපේ බැච් එකේ ඉන්නවා ජපානේ ඉපදෙන්න ගිහින් වැරදිලා මෙහේ උපන්න විප්ලවවාදිනියක් (නිප්පොන්). සර් කිව්ව එකට නිප්පොන් උදාහරණයක් දුන්නා

"සර්, හබක් කියන නමින් එහෙනම් අපිට වෙනත් දෙයක් හඳුන්වන්න පුළුවන්නේ?"

මේ දෙබස් එකක්වත් මේ විදියට මගේ මනසට ඇහුන් නෑ. මට වචන කෑලි ඇහුණේ. පියවි සිහියට ආවට පස්සේ මම ඒවා තේරුමක් ඇති දේවල් කරගත්තා.

"ඔව් පුතා, ඉස්සෙල්ලා ම මට කියන්න බලන්න හබක කියන්නේ මොකට ද"?

මේ ප්‍රශ්නය අහපු එක මට ඇහුණා. මම හිතුවේ මගෙන් ඇහුව එකක් කියලා. හබක මට ඇහුණේ වෙන ම කුණුහරුපයක් විදියට. ඒත් උත්තර නොදී ඉන්න බැහැ. ඉතින් ඒ දෛවෝපගත වැකිය අඩවන් දෑසින් යුතුව මම රහසින් වගේ කිව්වා.

"සර්, හබක් කියන්නේ හබන් කුකුළාට නේ?"

"නෑ නෑ පුතා, ඒ කැලේ ඉන්න කුකුල්ලු ජාතියක්නේ"

මම හ්ම්ම් කියලා ආයෙත් ඇස් දෙක අඩවල් කරගන්න යනකොට හෙම්බිරිස්සාව හැදුණු මයිනහමක වගේ සද්දයක් මගේ දකුණු ඇත්තෙන් ඇහෙන්න ගත්තා. මම දැක්කේ මනුස්සයෙක්ට ජීවිතේ හිනා දෙන්න පුළුවන් සීමාව. ඩැනී දත්මිටි කාගෙන රාස්සිවත්තේ පිස්සු ගෑණියෙක් වගේ මං දිහා බලලා හිනා වෙනවා. ඌ හිනා වෙනකොට මට ඔටෝ හිනා යනවා. මට ඌ මොන මගුලට හිනා වෙනවද කියලවත් ගාණක් ගියේ නෑ ටිකක් වෙලා යනකන්.

"බුද්ධාම්බෝ හබක්" හිනා වෙන ගමන් ඩැනී විසිපස් වතාවකට වඩා එහෙම කිව්වා. වෙන එකෙක්ටවත් මේක ඇහුණේ නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙවේ අපේ බැච් එකේ ගොඩක් වුන්ට ස්නායු අපහසුතා තියනවා සංවේදන නැති වෙලා යන. ලෙක්චර් එකෙන් එළියට ආවා විතරයි ඩැනී මග දිගට වැටි වැටී මම හබන් කුකුළු සීන් එක කරපු හැටි අභිනයෙන් කරලා පෙන්නුවා. ඌට හිනා වෙන්න පූර්ණ අයිතිය තියනවා. හබක කියන්නේ උගුලට. උගුලක් නැතුව කොහෙවත් නැති හබන් කුකුළෙක් ගැන මම නිදිමරගාතේ කියවනකොට ඒක ඌට පහේ ගුලියක් කෑවා වගේ ආතල් එකක්.

එදා ටනූ ආවා. හැබැයි ඒ/සී වැඩී කියලා පිස්සු ගෑනි ගිහින් වෙන තැනක ඉඳගත්තේ. හැබැයි අපි අතරේ රහස් නෑ. ඉතින් අනුන්ට ඇදකිරීමෙන් පද්ම ශ්‍රී සම්මානය ලබපු ඩැනී සතර අභිනයෙන් හබක් කතන්දරේ ටනූ ට කිව්වා. පස්සේ අපි එක එකාට හබකා හබකා කියන්න පටන් ගත්තා. මගේ ගණදෙවි මොළෙන් මම වට්ස්ඇප් ගෲප් එකක් හැදුවා හබක් කියලා. පින්තූරෙට හබන් කුකුළෙක්ගේ පින්තූරයක් දැම්මා. ලොකූ, මද්දුමී, චුල්ලි යන නම් තුන ඩැනී දැම්මා. හබක් ෆැමිලිය හැදුණේ ඔහොමයි.

අපිට ආවේණික ලක්ෂණ මුලින් ම මම සඳහන් කරා. ඒ අතරින් මග හැරුණු එකක් තියනවා. ඒක තමයි හොඳම එක. ඒ තමයි ජීවිතේ මොන තරම් කැත, භයානක, පොළවේ පස් කන්න තරම් දේවල් වුණත් ඒ හැම මගුලට ම හොඳ ම බෙහෙත හිනාව කියන එක අපේ ජීවන පරමාදර්ශය කරගන්න එක. ඕනිම දෙයක් දිහා සතුටින් බලන්න මට ඉගැන්නුවේ මගේ හබකෝ දෙන්නා. කැම්පස් ආපු ගොඩක් අයට කියන්න තියෙන්නේ එක කතන්දරයක්. ඒක විශ්වවිද්‍යාල සංස්කෘතිය හැදුණු දා ඉඳන් කියන එක. මේක තමයි සිරා ආතල් එක කියලා එක ෆ්‍රේම් එකක් නිතර ම ෆලෝ කරනවා. ඒ වුණාට හබකට පින්සිද්ධ වෙන්න මට දවසක මගේ කැම්පස් ලයිෆ් එක ගැන කියන්න හැමකෙනාම කියන අයිසින් ස්ටෝරියට වඩා කාපු දේවල් ඉස්මොල්ලේ යන කතාවක් තියෙයි. හබක් ප්‍රොටෙක්ට් අස්!