Tuesday, October 10, 2017

ඩවුන්ලෝඩ් කරපු සින්දු



ශේප් එකේ මේ ඔක්කොම ඇත්ත සිද්ධි නොවන බව සලකන්න.

"ඩවුන්ලෝඩ් කරන්න හොඳ සින්දු වගයක් කියනවකො" මට ඒ කටහඬ ඇහුණේ ඉස්සර විදියට ම නෙවෙයි. එතන මහා අමුතු විදියේ රස්තියාදුකාර යාළුකමක් තිබ්බේ. එයාගේ ඒ කාලේ කතාවයි දැන් කතාබහයි නිකන් හොම්රන් පැස් ඇන්ඩ් කාලගුණේ වගේ මෙලෝ සම්බන්ධයක් නෑ. මට ඒ ගැන මහා පරිමාණෙන් හිතන්න තරම් ශෝකයක් දැන් නෑ. ඒකට එක රීසන් එකක් තමයි මම ලංකාවේ මියුසික් වීඩියෝ නොබලන එක සහ ක්ලැරන්ස්ගේ පියඹා යනවා මා ආකාසයේ දේව ගීතිකාවක් වගේ ඉහේ තියන් ඉන්න එක. ඔක්කොටම වඩා මට දැන් චිත්‍රපටිවලවත් නැති තරමේ ලස්සන ආදරයක් තියෙන එක. ඒ නිසා මෙයා ගැන හිතලා මෙට්ටේ කොහු කන්න කිසිම අයිතියක් නෑ. ආදරේ දැන් මට ලොස් නැතුව ලැබෙනවා. ඒත් සතිෂ් පෙරේරා " ජීවිතයේ පළමු පෙම තරම් කාටත් නෑ මතක් වෙන දෙයක්" කියනකොට මට ඩයිනමයිට් කන්න හිතෙනවා.

මට හරි ම ආදරේ සෙට් වෙන්නේ තුන් වෙනි ව්‍යායාමයෙන් පස්සේ. ඩමියක් වගේ හිටපු මනුස්සයෙක්ව අරමුණක් ඇති එකෙක් වුණා බලන් ඉද්දි. එයා කියපු විදියට මගේ කුළුඳුල් ජින්ගිබිරිස් එක මට සිරා ලව් කරලා නෑ. ඒක එයා කියන්න ඕනි නෑ මට තේරිලයි තිබ්බේ. ඉර පායන්නේ විලක නෙළුම් ඔක්කොටම උනාට නෙළුම් මලකට හිතන්න පුළුවන් අම්මටසිරි මෙයා පායන්නේ මට විතරයි කියලා. ඒ නිසා උන්දැ බෙල්ල රිවට් කරන් උඩ බලන් ඉන්නවා ඉර පායනකන්. මාත් ඒ වගේ පයිත්තියන් නෙළුමක් වෙලා හිටියා. ඉස්කෝලේ අපි පන්ති දෙකක උනත් මම මගේ පන්තියට වඩා හිටියේ එයාගේ පන්තියේ. ඉස්කෝලේ ඉවර වෙලා එයාට කලින් ඔරලෝසු කණුව ගාවට ගිහිල්ලා මම නතර වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ පැත්තේ ඉඳන් එයා එනකන් "යහළු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ" කියා කියා ඉන්නවා.

ලව් කියන්නේ මට පොඩි කාලේ ඉඳන් දිරෙව්වෙ නැති සබ්ජෙක්ට් එකක්. එහෙව් මට මේ කෙල්ලෙක්ට දැක්ක ගමන් හිත යන්න තරන් දෙයක් උන් නැහැනේ. ඇත්තටම ඉස්සෙල්ලාම සිග්නල් එක දුන්නේ එයා. ඒක මහනුවර-බදුල්ල බස් රූට් එකේ තියන සිග්නල් වගේ එකක් කියලා නොදැන මම සිම් එක ෆෝන් එකට දාගෙනත් ඉවරයි. කවදාවත් අපි දෙන්නට දෙන්නා ආදරෙයි කියාගෙන නැද්ද මන්දා. නෑ එයා කියලා තියෙනවා. ඒක කොච්චර සීරියස් ස්ටේට්මන්ට් එකක් වුණත් "මම පරිප්පුවලට ආසයි" වගේ ඒක පට්ට නෝමල් දෙයක් වුණා. ප්‍රේමකීර්ති ද අල්විසුයි දයා ද අල්විසුයි වගේ ලොකු මිනිස්සුත් කවදාවත් දෙන්නට දෙන්නා ආදරේ කියෝගෙන නැති නිසා අපි නොකීවම මොකෝ. හැබැයි අපි දෙන්නා පුදුම බැඳීමකින් හිටියේ. එයාට මං නැතුව බෑ මට එයා නැතුව බෑ සීන් අතරේ තනිකර සුජීව ප්‍රසන්නාරච්චි ගේමක් තමයි තිබ්බේ. එයා ආදරෙයි කියලා පළාතේ ඉන්න හැම කොල්ලටයි බල්ලටයි කියන්න ඇති. ඒත් මම "ලෙවන් කීවත් ළඳේ එසේ සුපුන් සඳ ඔබ තමයි මගේ" කියලා හිතාන හිටියා.

ඔක්කොම ලෙල්ල හුටං වෙලා ගියේ අපි ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ගෙදර තිබ්බ වැඩකට සෙට් වුණ දවසේ. එතන කොෆී මැෂින් ක්‍රියාකරවන්නිය එයා. මම ගියේ ටිකක් පරක්කු වෙලා. එහෙම ගිහින් දැකපු දර්ශනේ මගේ ඇස් දෙකට ඇසිඩ් ගැහුවා වගේ දෙයක්. කොෆී මැෂින් එක කොහෙවත්. එයාගෙම පන්තියේ හිටපු ගං කබරයෙක් එක්ක පැත්තකට වෙලා වෙලිලා හිටියේ මගේ කුළුඳුල් පෙම්වතිය. මම ගැඩවිල් පණුවෙක් වගේ ඒක අස්සටම රිංගුවා. එතකොට ඒ දෙන්නා මට එතනින් යන්න ඉඩ දීලා නැගිට්ටා. එයා වෙනදා වගේම මං දිහා බලලා සුපුරුදු හිනාව දැම්මා. බේබද්දෙක් නොවුණට මොකෝ මං එදා ගෙදර ආවේ "විකසිත පැතුමන් ඔබෙ ළයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුණු පහනද නිවී"කියන ගමන්.

එදා ඉඳන් අපි එක පාරට බජාර් ටයිප් යාලුවෝ වුණා. සුදූ, බබා, පාත්ත පැටියා වගේ පාරිභාෂික වචන මාලාවෙන් ඈත් වෙලා මචං, බොක්ක, අඩෝ ටයිප් එකට වැටුණා. "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා" මාත් එහෙමම හිටියා. ඒත් මගේ ජීවිතේ මල විකාරයක් වෙලා ගියා. "ගිම්හානයේ ගිලන් වී තනි වී මේ වේදනාවේ" නොසෑහෙන්න ඉන්න වුණේ "කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ" කියලා මහා ඉහළින් හිතන් හිටිය නිසා. එයාගේ සැන්ට් එක කැමිලියා. ඒකෙ මල ඉලව් සුවඳ මට හැමවෙලේම දැනෙන්න ගත්තා. ඒක "රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින්" සියපාරක් ඇහුවත් අයින් නොවුණු සුවඳක්. නිකමටවත් අහස දිහා බලන්න බැරි වුණේ ඒ හැම පාරම "ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නේ මගේ ලෝකයේ" කියලා මතක් වුණ නිසා. "කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න"කිව්ව මගේ මූසල කටින් ම "ඉර වට යන ගිරවියනේ මගේ ගිරවිය කොහිද අනේ" කියලා අහන්න තරම් පට්ට පජාත තත්වයක් මට උදා වුණා.

එහෙව් මගෙන් ඩවුන්ලෝඩ් කරන්න සින්දු ටිකක් කියන්න කිව්ව වෙලේ මට කියන්න දෙයක් නැති වුණා. අන්තිමට රිද්ම විරවර්ධනගේ කුවේණි අහන්න කියලා මම ආවා. "වියූ සළුව නොම හැරයන් කුවේණියේ"

4 comments: