Wednesday, August 16, 2017

මල්ලිගේ නේමාර් කට් එක

වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ ලු. ඇත්තවශයෙන් ම පේපර් එක හිතුවාට වඩා ලේසි විය.

වෙනදාට කිලෝමීටර් දෙසියයකටත් එහා සිට පිය රජාණන් හෝ මෑණියන් අමතන තෙක් සිටි මම අද රජමාළිගාවට මිස්ඩ් කෝල් එකක් ගැසුවෙමි. අපේ මාලිගාවේ ලෑන්ඩ් ෆෝන් රාජයාට මිස් කෝල් ගහන එකම හිඟන ගැත්තා මම වෙමි. ඇසිල්ලකින් මට ඇමතුම ගත්තේ අම්මා ය.

"සුදු දුව.....මොකෝ අද කලින්?"

"නෑ..මේ.. පේපර් එක ලේසි"

ඕනිවට වඩා වැඩි මගේ ගට අම්මාව ඒ ප්ලස් එකක් කරා ගෙන යන්නට ඇත.

"හොඳයිනේ.. මල්ලිට තමයි මේ පාර ඉන්ග්‍රීසිවලින් පන්තියෙන් වැඩිම"

මලණ්ඩගේ කඩ්ඩ ගැන මම හොඳට දැනුවත් මි. පොර පෙර කල සුද්ද සිංහලෙන් මට බැන්න අතර දැන් කුණුහබ්බ වනන්නේද ඉංග්‍රීසියෙනි.

"හොඳයි... එයාට පන්තිද මේ දවස්වල?"

"ඔව්.. ඒක නෙවේ ඔයාට මල්ලිව දැන් දැක්කා නම් අඳුරගන්නත් බැරිවෙයි"

"ඇයි මොකෝ කරන් තියෙන්නේ?" මොහු අණ්ඩපාලයෙකු බව මම දනිමි.

"කොණ්ඩේ කපාගෙන. අමුතු නමකුත් ඒකට තියෙනවා. මට දැකපු ගමන් නම් අමුතුවට පෙනුණේ. දැන් ප්‍රශ්නයක් නෑ. ඔලුවේ එක පැත්තකින් කාණුවක් වගේ තට්ටේ පේනවා. මැද කොණ්ඩේ ඒ විදියටම තියනවා"

මම එක එක බලි රූප ඔහුයැයි සිතා මවා ගත්තෙමි. අම්මා තවමත් පුතාගේ කොණ්ඩය ගැන විස්තර විචාරයේ ය.

"මොකද්ද පුතේ ඕකේ නම? ඈහ්??! ආහ්හ්හ්.. නේමාර්. නේමාර් කට් එක."

වෙනදාට ඔහේ ගෙදර ආ මම මෙදා පාර ආවේ නේමාර් එක බැලීමට වෙමි. දෙපැත්තෙන් යතු ගා මැද පමණක් ඉතුරු කොට ඇති ඒ විලාසිතාව අපේ මනුස්සයාට ඇත්තට ම ලස්සන ය.

"අම්මටසිරි. ලස්සනයි බන්. තනියම ද කපාගන්න ගියේ?"

පුතාගෙන් ඇසූ පැනයට අම්මා පිළිතුරු දුන්නේය. "ඔව් මගෙන් සල්ලි ඉල්ලන් ගියේ. ඉස්කෝලේ නිවාඩු නිසා ඕක කපන් ඇවිත් තියෙන්නේ."

පාසල් නිවාඩුව අහවර වෙන තැන යළිත් හෙල්මට් කට් එක කපනු ඇත. කොණ්ඩය ගැන මල්ලිගේ මේ ආකල්ප මාව අවුරුදු කීපයකට පෙර කාලයට ගෙන ගියේ ය.

අට වසර පමණ වන තෙක් මමත් පාසල් ගියේ කොණ්ඩයවත් පීරා නොගෙන ය. එහෙව් මම ඒ ලෙවල් අවසන කොණ්ඩය ස්ට්‍රේට් කරගෙන සිටියේ අශ්ව ධේනුවක ලෙසිනි. මේ මගේ ම මල්ලි ය. පොරත් මෑතක් වනතුරු පාසල් යන්න මුහුණ ලෙසින් සේදුවේ ඇස් දෙකේ කබ අයින්කිරීම පමණි. දැන් තත්වය සෑහෙන වෙනස් ය.

නේමාර් එකක් කැපීමට තරම් තත්වයකට හේ පත්ව සිටී.



Saturday, July 15, 2017

ඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ

ප්‍රේමයට පෙර නුඹ ගැන මම ලිව්ව කවිපොත
මකුළුදැල් බැඳී ඇත කොහේ හෝ මුල්ලක අවසඟව
ප්‍රේමය දිනාගත් දින අගුළු ලා මගේ කවි වැදුම්ගෙය
ඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ

කලාව නම් නුඹමැයි කියා ලොව ලුහුඬු කරන
ආදර දෙබස් මම නුඹට නොකියන
සකලවිධ කලා කැටි කර ජීවිතයට එළිසමයක් වුණ කවියක්
පමණක් ම වේ නුඹ කලාවට එහා ගිය

හැම ලාබ අකුරක් පිටුපස ඇත ප්‍රේමයක් හඳුනා නොගත්ත
වචන මදි වෙන්නේ මට ඒ නිසයි නුඹ ගැන ලියන්න
කිරිසුවඳ තැවරුණ ප්‍රේමය ලෝබ නැතුව මා කෙරේ නුඹ පුදන
වෙනුවෙන් කවි ලියනු බෑ මට එක්කොට අර්ථයක් නැති පැලැස්තර වචන