Saturday, November 12, 2016

කවියක කතන්දරය

අම්මාගේ ලස්සන නොදනිත් මෙලොව කවුරුත්
අප්පච්චී තරම් වීරයෙක් නොවේවී තවත්
තුඩ මොටැති පැන්සලක්
චිත්‍ර පොතක පසු පිටක්
ගෙන ලිව්වේ කවක්
දෙමව්පිය වැණුමක්

දැක ඇතිද සුන්දර දෙයක්
සදිසි මුදු ගුරු හදක්
වේද ජීවය රැඳී දෙනෙතක මිත්‍රයෙකුගේ තරම්
නොවිණි නම් අමුණන්න ඒ ගැන වචනයක්
සිදුවෙන්න තිබුණේ පවක්

සදෙව් ලොව බොරුවක්
මිනිස් ලොව සුරපුරයක්
සිතා සිටි කල් ඉකුත් වූ කල
හැඟිණි මේ නර වලක්
වෙව්ල වෙව්ලා පණ අදින දෑතින්
කුරුටු ගෑ ලොකු කලු අකුරක්

තැලී පොඩිවී ලෝකයේ කෙළවරක
අත්වාරු දෙන්න ඇවිදින් ප්‍රේමයේ දෙව් රුවක් ලස්සන
ආත්මය මගෙ නමට ලියා දුන් නුඹ ගැන
කළෙමි කවිකම් නිසා නුඹ මගෙ නිමිත්ත

ලෝකය අපේ නොව උන්ගේය දැනුණු දින
කවි වදන් සිඳී ගිය දවසක
'ඔයා දැන් ඉස්සර වගේ කවි ලියන් නෑ නේද?
මං ආසයි ඔයාගේ කවිවලට'
කියා නුඹ ලියා ඇත කවක්

ඉතින් මම් කෙසේ නම්
නවතම්ද එක හිතින්
කවියක කතන්දරය නිම නොවේ යළිනම්

1 comment: