Friday, November 25, 2016

කලාව බලෙන් ඇඟේ ගැසීම

ඕනි හත්තිලව්වක් වේවා!

කැම්පස් ළමයෙක්ට කලාව ගැන තියෙන්නේ සෑහෙන ලොකු ගෞරවයක්. අවබෝධයක්. ඒත් ඒක එහෙමමද කියලා හිතෙන තරමේ සිද්ධියක් අද මටයි මගේ යාලුවටයි සිද්ධ වුණා. අද කිව්වට අදම නෙමෙයි. මේ වගේ සිද්ධි දෙක තුනක අත්දැකීම් තිබ්බට හිතට පුදුමාකාර කලකිරීමක් ඇති වුණේ අද.

ලෙක්චර් එක ඉවර වෙලා ලැබ් එකට ආවේ මෙහෙම දෙයක් කුරුටු ගාන්නත් නෙවෙයි. ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඒක බල්ලට ගියාවේ. මගේ හිතට දැනුණු අප්පිරියාව මෙහෙමහරි නැති කරගන්න ඕනි. මීට දවස් දෙකකට විතර කලින් බැනර් එකක් ගහලා තිබ්බා අහවල් සංගීත කණ්ඩායම ඇවිත් ප්‍රසංගයක් කරනවා කියලා. ඒක දැක්ක ගමන් මමයි මගේ රූමයි කතා වුණා අනිවා ටිකට් ස්ටෝල් එක දැම්මාම ටිකට් අරන් බලන්න යන්න. මොකද අපි දෙන්නම ඒ කණ්ඩායමට පට්ට ආසයි. ඒත් මේ දවස්වල සල්ලි නැති නිසා අම්මලා සල්ලි එවනකන් ඉන්නත් වෙනවා. කොහොමින් හරි ටිකට් විකුණන එක පටන්ගත්තා.

මම තවත් යාලුවෙක් එක්ක ජිම් එකට යන්න යනකොට කීප දෙනෙක් අපිට කිව්වා ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් අපිත් නැවතුණා.

"නවතින්නකෝ පුංචි කතාවක් තියෙනවා කියන්න"
"ටිකට් එකක් ගමු"

-"හරි අයියේ අපි කොහොමත් බලන්න එනවා. අද නම් ටිකට් ගන්න වෙන්නේ නෑ. යාළුවොත් එක්ක පස්සේ ඇවිත් ගන්නම්"

"කීයේ ටිකට් ද ගන්න ඉන්නේ? (තිබ්බ අඩුම එක තුන්සීය. අපි ඒක තමයි ගන්න හිටියේ. ඒක කියන්නවත් හම්බුන් නෑ ඉතින්.) මේ.. දෙදාහේ එකක් ගන්න හලෝ. අහවල් ගායකයා ළඟම ඉඳන් සින්දුව අහන්න පුළුවන්. සින්දු කියද්දී ඔයාලගේ ඇඟට කෙලත් විසිවෙයි."

ඒ තරමට ම අසහනයක් නැති බව කියන්න මට තද උවමනාවක් තිබ්බත් අයියා කෙනෙක්ට තිබ්බ ගෞරවය නිසා සද්ද නැතුව හිටියා. මේ වෙනකොට තුන්දෙනෙක් විතර අපිව වටකරගෙනයි හිටියේ. අපි කරකියා ගන්න දෙයක් නැතුව ගොබ්බයො දෙන්නා වගේ බිම බලන් හිටියා.

"ඔයාලා ෆස්ට් ඉයර්ද?" ඔව් කියලා මෙහෙක් කරන්න හම්බුන්නෑ.. "ආඃ.. එහෙනං අනිවාර්යයෙන් ගන්න වෙනවා. ඔයාලට මෙහෙම දෙයක් කැම්පස් එකේ උනාම ටිකට් ගන්න එක අනිවාර්යයි". අපි දෙන්නා ඒත් වචනයක්වත් නොකියා හිටියා.

"යාළුවොත් එක්ක එනවා කියලා නේද කිව්වේ? දැන් කීයක් එනවද? දහයක් විතර?"

-"නෑ. එච්චර නම් නෑ"

"අපෝ වැඩක් නෑ.. ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම ගන්න ඕනි". අපි රූකඩ දෙකක් වගේ ඔලුව පහත කරගෙන එතනින් මාරු උනා.

ඊට පස්සේ අදත් ලෙක්චර් ඉවර වෙලා එනකොට ඊයේ අපිව වටකරගත්තු නඩේටම අහු උනා.

"මේ නවතින්න.. ඔයාලා අද ගන්නවා කියලා කිව්වා"

අපි කිව්වේ පස්සේ ගන්නවා කියලනේ. කොහොමත් මෙච්චර හදිසි වෙන්න දෙයක් නෑ. ඒකට තව කල් තියනවා. මම කෙලින්ම  කිව්වා මේ දවස්වල සල්ලි නැති බව. මස්කඩකාරයෙක් මස් පෙත්තක් පෙති ගහන්න කලින් ඒ දිහා බලනවා වගේ බැල්මක් අපි දෙන්නට දාපු මේ කලාකාමී විද්‍යාර්ථියා අපිට ටිකට් එකක් ගන්නම බල කරා.

එතනින් අපි මාරු උනේ අපේ හිතේ කොන්සර්ට් එක බලන්න තිබ්බ ආසාවත් වාෂ්ප කරගෙන. රැග් සීසන් එකේවත් අපිට මෙච්චර දෙයක් කරන්න බලකිරීමක් තිබ්බේ නෑ. විශේෂයෙන්ම කලා කටයුත්තක්. මේ වගේම දෙයක් තවත් දවසක සිද්ධ වුණා .

ලෙක්චර් එකට පරක්කු වෙලා මායි රූමයි කන්ද බඩගාන් එනකොට අක්කලා හතර දෙනෙකුයි අයියා කෙනෙකුයි අපිව නවත්තා ගත්තා.

"නංගි ටිකට් එකක් ගන්න"

මොන හත්වලාමක් පෙන්නනවද කියලා කිව්වෙත් නැතුව ටිකට් එකක් ගන්න කිව්වා. අක්කලාට වඩා යමක් කමක් තේරුණ අයියා පෙන්නන්න නියමිත නාට්‍යය ගැන හැඳින්වීමක් කරා. අපි දෙන්නා තනියෙන් මේවා බලලා මොකටද කියලා හිතලා මම කිව්වා යාළුවොත් එක්කන් එන්නම් ලෙක්චර් ඉවර වෙලා කියලා.

"ඔයා ඉතින් යාළුවොන්ටත් එක්ක ගන්න". ඒක එක විදියක විධානයක් වුණා. අපි රත්තරන් සූප්පු කටේ ගහගෙන ඉන්න උන් නෙවෙයි. යාළුවො එක්ක තියා මට ටිකට් එකක් ගන්නත් කීයක් දෙන්න තියේද? සල්ලි බෝඩිමටම ඉවරයි. මේවා මම මටම කියා ගත්තු ඒවා. අපිට මෙතනින් ගැලවීමක් නැති බව තේරුණ රූමා ටිකට් එකක් ගත්තා.

-"උඹ දැන් කාත් එක්ක ගිහින්ද ඕක බලන්නේ?"

"මං යන්නෑ බන්. ටිකට් එක කාටහරි දෙනවා. නැත්තන් ඔන්න ඔහේ තියෙද්දෙන්."

කලාව මේ තරම්ම කසිකබල් දෙයක් උනේ කොහොමද කියන දුකත් හිතේ තියන් අපි ලෙක්චර් එකට ගියා.

ප්‍රියංකර රත්නායකගේ "ප්‍රේමවන්ත කුමාරයෝ" නාට්‍යය බලන්න නම් කාගේවත් ඇඟේ බලෙන් ටිකට් ගැහිල්ලක් සිද්ධ වුණේ නෑ. ලීෆ්ලට් වගයක් බෙදුවා. හරි වෙලාවට ගිහින් අපි හරිම සතුටින් ඒ නාට්‍යය වින්දා.

කලාව බලෙන් මනුස්සයෙක්ගේ ඇඟේ ගහන්න පුළුවන් දෙයක්ද? වෙනත් සමාජ වටපිටාවක නම් කමක් නෑ. ඒත් විශ්වවිද්‍යාලයක මෙහෙම වෙන්නේ කොහොමද? නිදහස් අධ්‍යාපනය ගැන වගේම කලාව මුදලට විකිණෙන විදියත් වෙනුවෙන් නැගී ඉන්න කැම්පස් එකේ සංවේදී මිනිස්සු ඇත්තේම නැද්ද? රුචිකත්වය ඇති එකා කොහොමහරි කලාවට ආශක්ත වෙනවා. ඒක බලෙන් ඇති කරාම තියෙන කලාකාමී හිතත් අයෙක්ගේ මැරිලා යන්න පුළුවන්.
x

Saturday, November 12, 2016

කවියක කතන්දරය

අම්මාගේ ලස්සන නොදනිත් මෙලොව කවුරුත්
අප්පච්චී තරම් වීරයෙක් නොවේවී තවත්
තුඩ මොටැති පැන්සලක්
චිත්‍ර පොතක පසු පිටක්
ගෙන ලිව්වේ කවක්
දෙමව්පිය වැණුමක්

දැක ඇතිද සුන්දර දෙයක්
සදිසි මුදු ගුරු හදක්
වේද ජීවය රැඳී දෙනෙතක මිත්‍රයෙකුගේ තරම්
නොවිණි නම් අමුණන්න ඒ ගැන වචනයක්
සිදුවෙන්න තිබුණේ පවක්

සදෙව් ලොව බොරුවක්
මිනිස් ලොව සුරපුරයක්
සිතා සිටි කල් ඉකුත් වූ කල
හැඟිණි මේ නර වලක්
වෙව්ල වෙව්ලා පණ අදින දෑතින්
කුරුටු ගෑ ලොකු කලු අකුරක්

තැලී පොඩිවී ලෝකයේ කෙළවරක
අත්වාරු දෙන්න ඇවිදින් ප්‍රේමයේ දෙව් රුවක් ලස්සන
ආත්මය මගෙ නමට ලියා දුන් නුඹ ගැන
කළෙමි කවිකම් නිසා නුඹ මගෙ නිමිත්ත

ලෝකය අපේ නොව උන්ගේය දැනුණු දින
කවි වදන් සිඳී ගිය දවසක
'ඔයා දැන් ඉස්සර වගේ කවි ලියන් නෑ නේද?
මං ආසයි ඔයාගේ කවිවලට'
කියා නුඹ ලියා ඇත කවක්

ඉතින් මම් කෙසේ නම්
නවතම්ද එක හිතින්
කවියක කතන්දරය නිම නොවේ යළිනම්