Tuesday, July 12, 2016

ජාතිවාදියෙක් මි

මේ කියන වචනයක් ගානේ කාට හරි හිත් රිදවීමක් උනොත් නියමිත මාත්‍රාව අනුව ළමා පැනඩෝල් ටිකක් ගන්න. යහපාලන ආණ්ඩුවට බනින එක නම් දැන් මහ කම්මැලි සිද්ධියක්. ඕක පත් කරගන්න පස්ස ඉරන් කෑ ගහපු උන්ම බනිනවා නම් ඉතින් අපිට කියන්න දෙයක් නෑනේ. මේ සිද්ධිය දැන් හැමෝම වගේ දන්නවා. ජනාධිපතිගේ නම තිබ්බ සමරු ඵලකය මංගලාරාමේ හාමුදුරුවෝ කඩලා දැම්මා. වෙන්ඩ-ලිච්ඡවි උනත් පන්සලට යන්න කකුල් ඉස්සුන් නැති ජනාධිපතිතුමාට කෑ ගහන එකත් නිකන් තියෙන ලේ ටික අපිරිසිදු කර ගැනීමක්. ඒ නිසා මේක දැක්කා නොදැක්කා වගේ ඉන්න පුළුවන් කමක් තිබුනත් කල්ලතෝනියෝ ටිකක් එකතු වෙලා හාමුදුරුවන්ට බනින එක බෞද්ධයෙක් විදියට මට කට වහන් බලන් ඉන්න බෑ.
දැන් ලංකාවේ මිනිස්සු වර්ග කරන්න අලුත් සිස්ටම් එකක් තියෙනවා. ඒක පදනම් වෙන්නේ සිංහල බෞද්ධ සංකල්පය මත. බෞද්ධයොන්ට වඩා බුදු දහම දන්න අන්‍යාගමිකයන්, අන්‍යාගමිකයන්ටත් අඩුවෙන් බුද්ධ ධර්මේ දන්න බෞද්ධයන්, උප්පැන්නෙට විතරක් බෞද්ධයින්, බෞද්ධ සංකල්පෙට ගරු කරන අන්‍යාගමිකයන්, බුදු දහම තමන්ගේ ජීවන දහම කරගත්තු නියමාකාරයෙන් ම සිංහල බෞද්ධයින්, මෙලෝ ලබ්බක් නොදන්න අමුඩයෝ උනත් බුද්ධාගමට ගරහන බෞද්ධයින් වශයෙනුයි ඕක වෙන්නේ. ඉතින් ඔය අතරෙන් තාලෙට නමෝ තස්ස භගවතෝ කියාගන්න බැරි උන් තමයි රෙදි උස්සන් දැන් මංගලාරාම විහාරාධිපති හාමුදුරුවොන්ට බනින්නේ. ඒ කෑ ගහන්නෙත් හෙන සම්‍යක්දෘෂ්ටික ටෝක්ස් දීලා. "අපිටත් ලැජ්ජයි අනේ බලන්නකෝ ඉතින් හාමුදුරු නමක් කරන වැඩද මේ" කිය කියා සබුද්ධික පොශ් වාහෙලා දැන් නාහෙන් අඬනවා.
ජනාධිපතිතුමා එකොළොස් වතාවක් මඩකලපුවේ මහ ඇමති හම්බ වෙන්ඩ ගිහින් තියෙනවා. ඔය අල්ලපනල්ලේ පුංචි වෙලාවක් ඒ පළාතේ එකම පන්සලට ගොඩ වෙන්ඩ වෙලාව වෙන් කරගන්න බැරිය කියන්නේ සමරු ඵලක නෙවේ තව තව ඒවා කඩන්න ඕනි වැඩක්. හැබැයි යහපාලනෙන් කතා වෙන්නේ සංහිඳියාව හදන්න. මහ ජාතිය නිසා සුළු ජාතින්ගේ හිත් රිදෙනව කියෙනවනේ. එතකොට ඔය කියන මහ ජාතිය හිත් පිත් නැති අමනුස්සයොද? හාමුදුරුවන්ට භක්තිපූර්වකව කියන්නේ සංඝ පීතෘවරු කියලා. ගිහි අපිට නිර්වාණ මාර්ගය පුත්‍ර ස්නේහයෙන් කියලා දෙන නිසයි එහෙම කියන්නේ. රටේ ප්‍රධාන පුරවැසියා ඒ විශුද්ධි මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් සීමා කරනවා කියලා දැනෙනකොට හාමුදුරු නමක් විදියට එහෙම සංවේගයක් ඇතිවෙන එක සාධාරණයි.
"ඒ උනාට අනේ බුදු සසුනට ගිය කලක්.. බුද්ධ පුත්‍රයෙක් නේද මේ" කියලා වලිප්පුව හදාගන්න යන පණ්ඩිතයෝ ටිකටයි මේ කියන්නේ. ධර්ම ඥානය ම විතරක් දෙන්න මේ බුද්ධකාලීන භාරත සමාජය නෙවෙයි. ලංකා ඉතිහාසයේ එක්තරා අවස්ථාවක චීවරයේ හයියෙන් රට ගොඩ ගන්න උන අවස්ථාවක් ආවා. ඒ කාලේ ඉඳන් අද වෙනකන් ම රට වලපල්ලට යද්දී සංඝයා වහන්සේලා නැගී හිටියා. ඉස්සරහටත් ඒක එහෙමමයි. වළගම්බා රජ්ජුරුවන්ට සේනාව සපයන්න උදව් දුන්නේ, දුටුගැමුණු රජතුමාගේ යුද්ධ සේනාවේ ඉස්සරහින් ම වැඩියේ, සුද්දගේ කොඩිය බිම දාලා පෑගුවේ, මොළ ගෙඩි රත්වෙන්න කවිය ආයුධයක් කර ගත්තේ, බය නැතුව රට වෙනුවෙන් තුවක්කුවලට පපුව දුන්නේ අපේ හාමුදුරුවරුමයි. උන්වහන්සේලා එහෙව් දෙයක් නොකරා නම් අද අපිට ආඩම්බරෙන් මුතු ඇටේ කියන්න රටක් ඉතුරු වෙන් නෑ.
දෙස්පාලුවොන්ට නූල් බඳින්න පමණක් වැඩ ඉන්න හාමුදුරුවරුන්ට වඩා ආගමටත් ජනතාවටත් සමීප ගම්වල වැඩ ඉන්න හාමුදුරුවරු. නිදි වැදිලා ඉන්න ගියොත් ඉස්සරහට තවත් මේ වගේ දේවල් ඕනි තරම් වෙන්න පුළුවන්. එදාට කුළුගෙඩිවලින් කඩන්නට වෙන්නේ ඵලක නෙවෙයි අපේ ඔළුගෙඩි. ජාතියක් ජම්මයක් නැති උගත් බුද්ධිමතෙක් වෙනවට වඩා ආගම ජාතිය ප්‍රාණ සම රකින නූගතෙක් වෙන එක මට සතුටක්. ඒ වෙනුවෙන් කතා කිරීම ජාතිවාදීකම නම් මම ජාතිවාදියෙක්.
ඵලකේ කැඩුවට හෝක වෙන විඥානවාදියෝ පව්. එච්චරයි.

Monday, July 4, 2016

ගෙදර නිවන

නමුණුකුලෙන් සමුගෙන මම කොළඹ රටේ අද
ඉගෙනගන්න ආවේ හැම දෙයියන්ටම වැඳ
හරි ලස්සන ජීවිතයක් පැතුවත් ඒ සඳ
බලු බල්ලෙක් නෑ අම්මේ පාළුයි මගෙ හද
ගෙදර වගේ හඳ පායන්නේ නෑ රවුමට
හීතල හුළඟක් නෑ ඇඟ දැවටෙනු කපකට
ලේ කඳුළක් නෑ මිනිසුන් හිටියත් එමකට
ඇයි මං විසිවුණේ ගෙදරින් මෙච්චර දුරකට
නාග විමානේ වැනි මගෙ කාමරෙ පින්බර
අම්මයි අප්පච්චියි දෙන්නා තරඟෙට ඉස්සර
කැරපොත්තන් මැරී වැටුණු කෝප්ප අස්කර
බැන බැන සිටි කාලෙ සැපයි විඳ මගෙ කරදර
බිත්ති හතරකට කොටු වී ඉන්න වෙලාවක
මල්ලිව මතකෙට එනවා තාලෙට ගීයක
උන්දැ හිටිය නම් ආසාවට ළඟ පාතක
කියනව මං ආදරේ බව ගලපලා එක දෙක
අපි ඔක්කොම නිදාගත්තෙ එකටයි ගුලිවෙලා
ඇස් දෙක තෙමෙනවා නොදැනිම ඒවා මතක් වෙලා
එළි වෙනකන් ෆෝන් එකෙන් ෆොටෝ කෑලි බලා
දුක පොඩ්ඩක් නිවා ගනිමි නින්දක තනි වෙලා
වෙලාවකට හිතෙනව දැන් ඉගෙනගත්තා ඇති
තනිකම මේ තරම් කැතද හිතලම මට හති
ඉගෙන නොගෙන හිටියොත් මම නිසා නිවට ගති
වදීවි මට ඔබෙ දහදිය මුසු හෙණ වැහි නැති
කර දඬු උස් වෙනකොට අද කාලේ මල් දරුවෝ
ලෝකෙ රහස් හොයන්න ගෙදරින් පිට මං තැනුවෝ
එහෙම හිතං කලක් මමත් බොළඳ හීන දුටුවෝ
පෙර නොදැනුණු ගෙදර නිවන දැන්නම් දැනෙනවෝ