Friday, June 24, 2016

අමල් බිසෝ දොර නාරින් මට පිටුපා

අවාරයේ මී අඹ මල් පිපෙන්නට
මල් පොහොට්ටු වටකර බිඟු රඟන්නට
ඉඩෝරයේ මොණර රැඟුම් දකින්නට
නුඹ ආවේ නිල් අහසක් තනන්නට
හැමදා රෑට හඳ පායන වේලාවේ
හාවා නොවේ මට කිරිපැණි ගෙන ආවේ
අඳුර බිඳන් ඔබ එන මල් වරුසාවේ
ලෝකයෙ සියල් රස වා තලයේ පාවේ
හීයක වේගයෙන් ගතවන මාස සති
හීනෙක පහස දුණි ඔබ ළඟ නිසා නිති
දෙයියන් බුදුන් නොවැන්ද අමනුස්ස ගති
දුරුවිය ඔබේ පින් බලයෙන් ප්‍රජාපති
කට කැඩි කළයකින් දිය ගෙන එන්න එපා
යන එන ගමනෙ තල හොරකම් කරනු එපා
මනමේ කුමරි මෙන් හිත දුක් දෙන්න එපා
අමල් බිසෝ දොර නාරින් මට පිටුපා

Saturday, June 4, 2016

කතා පොත

අකුරක රහක් නොදනින
වචනෙක පාට නොපෙනෙන
සාක්ෂරතා නැති
අඳබාල ඇස් ඇති
මනස්පුත්තුන් දකින
කසිකබල් කතා පොත ආදරය
ජීවිතය ලියවා ඒ දිවිය කියවන
ලෝකයම තනා අකුරු මත ඇවිදින
සතුට පමණක් ම ඇති
දුකක් නැත්තේ ද නැති
නුවන් ලද්දන් දකින
විශ්වීය කතා පොත ආදරය