Sunday, May 29, 2016

සක්වලක මියැදෙනු එපා

උත්තමයි කී මිනිස් බව ලද
සත්තු අණ්ඩජ නර කැලේ
තවම බිත්තර කටුවලින්
හිස් ඔසවලා නැති බව පෙනේ

යදම් නොදමා තිබුණාට
නිවහල් ය කිව්වත් චින්තනේ
අන්ධකාරය පමණි උන් අප
දෙදෙන හට එළියක් කළේ

නොලැබ ආලය නොමිනිසුන් ලෙස
ගෙවන ජීවිත මනුසතා
අහිංසක ආදර කතාවන්
පොළෝ පස් යට සඟවනා

පොලු මුගුරු ගෙන දිව ඇවිත්
කෑ ගසයි අපෙ ලෝකය බලා
උන්ට බිය වී මගේ පුරහඳ
සක්වලක මියැදෙනු එපා

Sunday, May 1, 2016

සතෙන් සතය, රුපියලෙන් රුපියල සහ අම්මා


මිනිස්සුන්ට තමන්ගේ බැඳීම් ශක්තිමත් කරවන එහෙමත් නැත්තම් නැතිවෙලා තිබ්බ බැඳීමක් ඇති කරන ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙනවා. අතීත කාලයේ දවසක්, පුද්ගලයෙක්, සිදුවීමක් එහෙමත් නැත්තම් තැනක් මේ මැජික් එක කරනවා. උසස් අධ්‍යාපනය කෙසේ වෙතත් ජීවිතේ තේරුම් ගත්තේ කැම්පස් යන්න ගෙදරින් පිට වුණාට පස්සේ. එතනදි ගුරුවරයා වෙන්නෙත් මමමයි. කැම්පස් එක එක්සසයිස් පොතක් උනා විතරයි. මේ ඉගෙනගත්ත දේවල් ගැන ලියන්න ගියොත් ට්‍රැක් පනින්නට ලොකු සම්භාවිතාවක් තියෙන නිසා කෙලින්ම සීන්කෝන් එකට එන්ටර් වෙන්න හිතුවා. මගේ අම්මා ටීචර් කෙනෙක්. දැක්කම ඇත්තටම ආදරේ හිතෙන පෙනුමක් තියෙන, හරිම ලස්සන, කරුණාවන්ත කෙනෙක්. මට මේ වචන ටික ගැට ගහගන්න අවුරුදු විස්සක් ගත වුණා කියනකොට මට මං ගැනම විලි ලැජ්ජයි. කොහොම වෙතත් ඒ දවස්වල මමයි අම්මයි ගියේ එකම ඉස්කෝලෙට. එතකොට අපිට වාහනයක් තිබ්බේ නෑ. පයින් තමයි යන එන ගමනක් ගියේ. ඉස්කෝලේ තිබ්බ තැන ඉඳන් කිලෝමීටර් දෙකක් විතර එහායින් තමයි තිබ්බේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සිංහලෙන් කිව්වොත් NSB එක.

මාසික පඩිය අතට ලැබුණු ගමන් අම්මා පයින්ම දුවන්නේ බැංකුවට. ඒත් පට්ට අව්වේ. වෙන මොකටවත් නෙවෙයි මගේ බැංකු පොතට කීයක් හරි දාන්න. ඉන්ටර්වල් වෙලාවේ නැත්තම් ඉස්කෝලේ ඉවර වුණ ගමන් තමයි මේ දේවකාරිය කරේ. ඒ වෙලාව කුඩයක් දාගෙනවත් එළියට බහින්න පුළුවන් වෙලාවක් නෙවෙයි. අනික ඒ කාලේ අම්මලාට එච්චර ලොකු පඩියක් ලැබුණේ නෑ. අතට ලැබුණ ගාණ කීය වෙතත් ඒකෙන් දාහක් දෙදාහක් මගේ අනාගතේ පොහොසත් කරන්න අම්මා පරිස්සම් කරා. සමහර දවස්වලට මේ වැඩේට මාත් බැංකුවට ගියා. ඒ ගමන ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ ඉස්කෝලේ ඉවර වෙලා. මේ වෙලාවට පාරක තොටක ඇවිදිනවා කියන්නේ මහා පාපයක් ගෙවීමක්. ඒ තරමට සෙනඟ. මෙහෙම බැංකුවට යන අතරමග මමත් ගස් පාළුවා වගේ කරන්නේ අම්මාගේ දත ගලවන එක. මේ වෙලාවට කෑම ජොයින්ට්ස්වල කට කපලා. ඒ නිසා මට කැමති දෙයක් අරන් කාලා එන්න කියලා සිමෙන්ති කොට්ටයක් තරම් මගේ බෑග් එකත් උස්සන් අම්මා එළියට වෙලා හිටියා. පැය ගාණක් පන්ති කාමරවල උගන්නලා මහන්සි වෙලා ඉන්න අම්මයි මොනවා හරි කන්න තිබ්බේ කියලා මට තේරෙන්නේ දැන්.

කැම්පස් ආවාට පස්සේ බෝඩින් එකට පන්දාහක් දෙන්න වෙනෝ දැන්. ඒ මදිවාට කෑමවලටත් වියදම් යනෝ. සල්ලි උවමනාවක් උනොත් NSB ATM එකෙන් ගන්න කියලා අම්මා කියනවා. මට එක හිතෙන් ඒක කරන්න බෑ. මට ඒකෙන් සල්ලි ගන්න හිතෙන්නේ ම නෑ. අම්මා අව්වේ කර වෙවී ගිහින් දාපු මහන්සියෙන් හොයාගත්ත සල්ලි මට වියදම් කරන්න බෑ. හදිසි සල්ලි උවමනාවක් ආවොත් මම ගෙදරට කෝල් කරලා කීයක් හරි ඩිපොසිට් කරගෙනයි ඒක ප්‍රයෝජනේට ගන්නේ. මගේ අම්මාගේ සංචිතයෙන් තාමත් මම සතයක් අරගෙන නෑ.

අදටත් කොහේදි හරි NSB එකක් දැක්කොත් පන්සලක් දැක්කා වගේ මගේ හිත මහ පුදුම ගෞරවයකින් පිරිලා යනවා. ඒ තරමටම අම්මාගේ ආදරේ මට කියලා දීපු තැනක් ඒක. දෙමව්පියෝ තමන්ගේ පොඩි එවුන්ට ආදරේ කරන විදිය තේරුම් ගන්න එවුන්ට ටිකක් කල් යනවා. මං හිතන්නේ මම දැන් ඉන්නේ ඒ කාලේ.