Wednesday, December 16, 2015

ලංකා ලෙඩ

ලංකාව කියන්නේ..........විසාල කැලයක් නෙවෙයි, අමුතු ලෙඩ ගොඩක් තියෙන මිනිස්සු ඉන්න දූපත් බිජ්ජක්. පොස් ගණයට වැටෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ අතික්‍රමණය කරලා අපේ උන්ට තියෙන්නේ වෙන බහුබූත ලෙඩ. මේවා ඔක්කොම ගැන එක පාර කියන්න ගියොත් බජට් එක කියෙව්වා වගේ නන්නස්තාර වෙන්න වෙනවා. ඒ නිසා එක ම එක ඒත් අසාධ්‍යම ලෙඩක් ගැන තමයි කියන්නේ.

මේ ලෙඩේ ගොඩක් තියෙන්නේ අපි ජීවත් වෙන ගෙදර උන්ට නෙවේ. සරලව කිව්වොත් අපේ වත්ත හතර මායිමෙන් එහා ඉන්න, අපිව දන්න හැම නරයාටම මේ අමාරුව තියෙනවා. අපි කක්කුස්සියට යන්නේ කොහොමද, ඒ ගියාම වැඩේ වෙන්නේ කොහොමද, මල බද්ධෙද නැත්තන් අර්ශස් වගේ ද කියන්න ගොඩක් උන්ට පුළුවන්. තමන් කක්කුස්සියට යන්නේ කොහොමද, ඇත්තටම තමන්ගේ ගෙදර දොට්ට පිළක් තියේද කියන එක නොදැන අනුන්ගේ ලැට් හාරන එක තමයි මේ ලෙඩේ.

සිරි ලාංකිකයන් වශයෙන් අපිට ටොම්බා වර්ගයේ නෑදෑ සනුහරයක් ඉන්නවා. ඒ හැමෝම අවංකව ම අපිට ආදරෙයි. හැබැයි මේ ලෙඩේ නිසා ආදරේ දෙපිටින් යනවා. තමන්ගේ ගෙදර ඉන්න කොල්ලයි බල්ලයි හදාගන්න කලින් අපේ වරිගේනේ ඉතින් කියලා තමන්ගේ අයියාගේ අක්කාගේ ළමයි හදන්න එනවා. තමන්ගේ එකී වැද්දෝ එක්ක ජවුසන් නටද්දී අනික් එකාලටයි එකීලටයි බණ කියන්න යන්නේ මේ ලෙඩේ මුළු සිරුර පුරාම පැතිරුණාට පස්සෙයි. විභාගයක් ආසන්නයේ වගේම විභාග ප්‍රථිපල එනකොටත් මේ අසනීප තත්වය උග්‍ර වෙනවා. ෆෝන් එකේ පිටේ බැඳන් හුබ්බ ගන්න බැරි තත්වෙට අහිංසකයෝ පත් වෙනවා .

කොල්ලෙක් එක්ක පාරේ කතා කර කර කියොත් අනික් අතට රොයිටර් පුවත් සේවය ගෙදරට වාර්තා කරනවා නිකන් මගුලේ ගියා වගේ. මේක ඇත්තවශයෙන් ම සාපේක්ෂ දෙයක්. මොකද සමහර ඩෙසිබල් කෙල්ලෝ ඉන්නවා අසහනකාරී චින්තාවෙන් ම කොල්ලෙක්ගේ ඇඟේ එල්ලෙන. එහෙම උන්ගේ CCTV හයි කරත් කමක් නෑ. ඒත් මනුස්සකමට කාත් එක්ක හරි කතා කිරීම ආනන්තරීය පාප කර්මයක් නෙවෙයි. විසි එක්වන සියවසේ හුළං පොදක්වත් ගෑවිලා තියෙන එකෙක් නම් ඔය තරම් වපර ඇහෙන් ඔය දිහා බලන් නෑ. පෙර කරපු මොකක් හරි පින් මහිමයකට අපේ ගෙදර මිනිස්සු දන්නවා මගේ යහළු ප්‍රතිශතේ වැඩි අගය දරන්නේ කොල්ලෝ කියලා.

වැදගත් ම සිද්ධිය තමයි මේ. අපේ බාහිර ස්වරූපය අනික් උන් දකින විදිය. මිනිස්සුන්ගේ රසඥතාවය වෙනස් තමයි. ඒක තේරුම් අරගෙන තමන් තමන්ගේ විදියටත් අනික් මිනිහට උගේ අමුඩේ ඇඳගෙන උගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන එකත් තමයි වෙන්න ඕනි. ඒත් මේ ලෙඩ්ඩු එක්ක බෑනේ ඕක කරන්න. මේක මම ප්‍රත්‍යක්ෂයෙන් ම තේරුම් ගත්තේ මගේ කොණ්ඩේ නිසා.  අවුරුදු දහතුනක් වෙන මගේ පාසල් ජීවිතේ අප්‍රසන්නම මතකය මගේ කොණ්ඩේ. ඒක සායි බාබා මාදිලියේ කොණ්ඩයක්. ඒකට සෑහෙන විවේචන තිබ්බා. බුඩු අම්මේ ඉතින් කියලා පිළිවෙලක් වෙන්නත්, එක එකාගෙන් වදන් අහගන් නැතුව ඉන්නත් හිතන් මම කොණ්ඩේ ඉස්ට්‍රෙට් කරා. අම්මපා තට්ටේ ගාන්න හිතුනේ ඊට පස්සේ. එකෙක් දෙන්නෙක් ඇරෙන්න හත්මුතු පරම්පරාව ම මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. අවංකව කිව්වොත් මට සෑහෙන දුක හිතුනා. ඒත් ටික කාලෙකින් ලෝක ධර්මතාවය.. අම්මටහුඩු වැරදුනා! ලංකා ධර්මතාවය තේරුම් ගත්තා. දැන් අවුලක් නෑ.

අපි ලෙඩ්ඩු එක්ක තරහා ගන්න නරකයි. අනුකම්පා කරන්නයි ඕනි. වසංගතේ වගේ ලෙඩේ පැතිරෙනවා නම් ලෙඩ්ඩු නැති ලෝකෙකට යන්න ඕනි. තත්වේ බලලා මමත් වෙන දීපංකරෙකට තොලොංචි වෙන්නයි හිතන් ඉන්නේ.



No comments:

Post a Comment