Tuesday, December 29, 2015

මඩු වලිගය නොකී කතා

බුඩ්ඩිමත් සියල්ලන්ගෙන් තරහා අවසර. මේ දිනවල ඔබෙත්, මගෙත් රටේ ජනපතිගේත් අවධානය දිනා ඇති තන පටය ගැන කතා කිරීම වරදක් වෙන්නට විදියක් නැත. යහපාලන නෙයියාඩගම හා සිරිසේන ජනාධිපති ගැන කතා කිරීම කොයියම් අපුල දෙයක් වුවත් කස්ටිය කියනා පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමද මොකද්දෝ කියන මේ ආණ්ඩුවෙන් පමණක් හිමි වූ මහානුභාව සම්පන්න මෙව්වා එක විඳ ගැනීමේ රිසියෙන් මෙය ලියමි.

මෙය කොතනින් පටන් ගෙන කෙසේ ඉවර කළ හැකිද කීමට නොහැක. ජනවාරි අටවෙනිදා ලක්වාසී සියල්ලන්ට සුපර් මෑන්ස් කෙනෙක් පහළ විය. රටක් ගොඩ ගැනීමේ මහා සංග්‍රාමය ඉතා හැඟීම්බර ලෙස ආරම්භ කළ අපේ කාලයේ වීරයා ඔහුය. ඒ වීරයා කාලයාගේ ඇවෑමෙන් හෙන ම වීරයා විය. මෑතකදී දහම් පාසලක දරුවන් ඉදිරියේ සංස්කෘතිය රක්නා මහා වීරයා වන්නට යාමේ ආතලයෙන් වීර කාව්‍යය පණ නැගුණි. 

මම එකී සංගීත සංදර්ශනයේදී අහවල් විජ්ජුම්බරය කළ කාන්තාව සාධාරණීකරණය නොකරමි. නමුත් කොස් ඇටේ පැන්නා මෙන් හිටි ගමන් හිටන් සංස්කෘතික කැක්කුමකින් ඔද වැඩී මඩු වලිගයෙන් තැලීමට ගොස් අන්තර්ජාතික වශයෙන් අමුතු විහිළුවක් වීම මගේ නොමේරු මනසට සෑහෙන ප්‍රශ්නයකි. අප අති සුන්දර සරල ජනාධිපතිගේ සොයුරා පොරෝ පහරකින් මිය ගියේය. ඒ මිය ගියේද තන පට ගලවන්නට ගොසින් ය. පොරෝ පහරකින් ජනපති සොයුරෙක් මැරීමට තරම් ම්ලේච්ඡ සහ ගෝත්‍රික රටකි ලංකාව. බටහිර රටවලට අවශ්‍ය වන්නේද අප රටවල් ඒ සංකල්පයේ ම පවතින්නට ය. එහෙව් රටක ජනපති අලුගුත්තේරු වැඩවලට ගේම දෙන්නේ මඩු වලිගයෙනි. එය කොන්ද පණ ඇතුව මෙලෙස කීමට ගට් එක ඕනිම ය. 

අප අල්පේච්ඡ ජනාධිපතිතුමාට හොරෙන් මේ රටේ බොහෝ දේ සිදු වේ. සිය ලේ මස් පුද දී රට බේරා ගත් මිනිසුන් FCID වැනි කෝලම් මඩුවලට යාම ඔහු දැනගන්නේ මාධ්‍යය මගින් පමණි. අනේ උන්ට මඩු වලිග දෙක තුනකින් දෙන්නට ඕනි ය. කොටි අහසින් වැඩ්ඩා සේ දේශපාලන සිරකරුවන් බවට පත් විය. ලක්ෂ්මන් කදිරගාමර් මැරූ සහ මහා බැංකු බෝම්බයට සම්බන්ධ කාලකණ්ණියො මේ අතර වෙත්. උන් එසේ සිටිද්දී මහසොහොන් බලකායේ විරුවෙක්ට මරණ දණ්ඩනය හිමි විය. ඔපරේෂන් ඩබල් ඒජ් ගැන අධෝ සංසාරයක් නොදන්නා උන් බොරුවට උඩ පනිද්දී රට මරු කටින් බේරූ බුද්ධි අංශයේ අපේ කාලයේ දෙවිවරුන්ට යන එන මං නැති වී ඇත. ත්‍රිකුණාමල නාවුක හමුදා කඳවුර උන්ගේ අම්මාගේ අප්පාගේ දේපල මෙන් ඕනි ලෙස ඇඟිලි ගැසීමට පරදෙසක්කාරයන්ට ඉඩ ලබා දුණි. මේ සම්බන්ධයෙන් මඩු වලිග සැලෙන්නේ නැත්තේ ඇයි? 

මා කොන්ද පණ නැති නිවට නියාලු හිවල්ලු ගැන අසා තිබේ. නමුත් ඒ සතුන් දැන් ඇස් පනා පිටම දකින්නට සිටී. යකෝ අපි වෙනම රටකි. ලෝක බලවත්තු කියූ පමණින් තොපට ඕනි ලෙස අපට නටන්න බැරිය. එහෙත් අවාසනාවන්ත බිබික්කමකට අපි දැන් අනික් රටවල් කියන්නත් කලින් ඒ ලෙසින් නටන්නට කැමැත්තෙමු. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උපදෙස් දීම සඳහා විශේෂඥ රොත්තක් ම සිටිති. රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන්ද උල්ලංඝනය කරමින් සමන්තා පවර් කියා දෙයියෙක් මෑතක ලංකාවට වැඩ්ඩේ ය. කොච්චරවත් සිටියේ උතුරේ ය. මේ ගැන ආණ්ඩුවට හාංකවිසියක්වත් නැත. මන්දයත් මේ සුද්දී අපිට බොක්කෙන් ම ලව් ය. අපේ අභිවෘදියම සිතන්නී ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිල වාර්තාව හමුවේ රණවිරුවන් යුධ අපරාධ කළ බව අපේ රත්තරන් ඇත්තන් ම පිළිගෙන ඇත. මොවුන්ට මිය ගිය රණවිරුවන් සොහොන්වලින් නැගිට සාප කරනවා නිසැක ය. 

පරිසර ඇමති වුවත් විල්පත්තු කියා අරුමයක් ගැන අසාවත් නැත. මහබැංකු බැඳුම්කර වංචාව මේ වනවිට කෝටි 7500ක පමණ සංහාරයක් සිදු කොට හමාරය. මේ බැඳුම්කර හුටපටය තේරෙන සිංහලෙන් කියා දුන් නාලක ගොඩහේවාට යහපාලන පහස ලැබී ඇත. නාගදීපය නයිනතිව් ලෙස නම් කිරීමට ගැසට් යෝජනා සම්මත වී ඇත. සීපා නැතේ කියා මේ රට කන නඩය ECTA අත්සන් කරන්නට යයි. එයින් රටට වෙන සෙතක් නැත. දූපත් මානසිකත්වය හෙනම ගොඩේ යැයි සිතන පොස් වාහෙලා වෙනුවෙන් ඉන්දියාව සහ ලංකාව අද හෙටම යා වෙනු ඇත. එදාට ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැතුන් වෙනත් ඇටයක් කීමට සිදු වෙනු ඇත. මඩු වලිගෙන් තැලිය යුත්තේ මෙවන් අසික්කිත දේවලට ය. 

මහින්දෝදය නාමය නැති තාක්ෂණික විද්‍යාගාර උන්ගේ මලකඩ සුරතින් විවෘත වේ. උන් හැදූ අධිවේගී මං ද එසේමැයි. නෙළුම් කුළුන නිසොල්මනේ සිටිද්දී අනික් රටවල සන්නිවේදන කුළුණු දෙස කටත් පශ්චාත් භාගයත් ඇරගෙන අපි බලා සිටිමු. මේ ගතවෙන කාලය යළිත් නොඑන්නෙම ය. ජනවාරි 8ට පෙර වහකදුරු වී තිබූ පෝට් සිටි ව්‍යාපෘතිය යළිත් හිස ඔසවන ලකුණු පෙනේ. ඒ දිනවල අනේක විධ අණ්ඩර දෙමළ කියවූ පරිසරවේදීන්ට මඩු වලිග අමුවෙන් කැවිය යුතුය. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කෙරිණි. මෙහි පවත්නා අසහනකාරී පළිගැනීමේ තුට්ටු දෙකේ චේතනාව බුඩ්ඩිමතුන්ට නොපෙනුනද සාමාන්‍ය මිනිසාට පෙනේ. ඒ අල්ලපනල්ලේ ලොවෙත් නැති අයවැයක් ජනිත විය. සංශෝධන හුට්ටප්පරයක් එහි සිදු වේ. එය යහපාලන හොඳ පැතිකඩක් යැයි කියා සමහරු අහිංසක සිත් සන්තර්පණය කරගන්නවා ඇත. එතන ඇති මෝඩමරිකම වසා ගන්නට එක තන පටයක් මදි ය. මේ අයවැයත් සමග නිමක් නොවන වැඩ වර්ජන හා අර්බුධකාරී තත්ත්ව රටේ පැන නැගී තිබේ (මඩු වලිග ඕනෑ කර තිබේ!)

කළු පාට ඩිෆෙන්ඩර් රථවලින් හිරුණිකා කියා අපේ කාලයේ වීරවරියක් සැලෙන්ඩර දමයි. යහපාලන ආණ්ඩුවට කතිරය ගැසූ අය මෙකී තත්ත්ව යටතේ බොහෝ විට හෙලා දකී. රත්තරන් අස්පයන් හා දිව්‍ය සැප ඇති කක්කුස්සි නොදුටු උන් උදේ හිටන් රෑ වෙන තෙක් දැන් හෙලා දකී. මේ සම්බන්ධයෙන් සමහර අති පණ්ඩිතයන් එක එක කතන්දර කියයි. මහින්දගේ පාලන සමයේ ඔහුව විවේචනයට අයිතියක් නොතිබූ බවත් දැන් සිරිසේන ලොක්කා විවේචනයට මග හසර ඇති බවත් ඒ මොළ ගෙඩි පවසයි. මුන් මේ පවසන්නේ වෙන ලෝකෙක මහින්දයෙක් ගැන විය යුතුයි. අවුරුදු තිහක යුද්ධයකුත් ඒ හා බලන කල අති මහත් සංවර්ධනයකුත් කෙරූ පසු මහින්ද තරමට විවේචනයට ලක් වූ නායකයෙක් ගැන මා අසා නැත. අනික ජාත්‍යන්තරය හමු වේ තන පට ගැන කියා වීරයෙක් වෙන්න ගොස් පපඩම් වූ නායකයෙක් නොවේ මහින්ද. 

දැන් මා යළිත් මගේ ළාමක සිතට වද දුන් ප්‍රශ්නය හමුවේ ය. සරල සුන්දර ජනපති තුමනි (අතිගරු එපා කිව්වනේ), රටේ මේ තරම් ප්‍රශ්න ඇත. ඒ ප්‍රශ්න හමුවේ මඩු වලිග තියා හූනු බිජ්ජක දෙයක් ඔබට මතකයට ආවේ නැත. ගෑනියෙක්ගේ තන පටයක් දැන් ඔබේ ප්‍රශ්නය වී ඇත. ජනතා මනස ඒ ගැන සිතන්නට යොමු කරවා රටේ පවත්නා ප්‍රශ්න කිල්ලෝට අස්සේ ම තබා ගැනී ම ඔබේ බෝල්පොයින්ට් ප්‍රයෝගය වන්නට පුළුවන. නැති වන්නට ද පුළුවන. මඩු වලිගත් ඔබේ ය . ලංකාවත් ඔබේ ය. යහපාලනයට ජය!

Wednesday, December 16, 2015

ලංකා ලෙඩ

ලංකාව කියන්නේ..........විසාල කැලයක් නෙවෙයි, අමුතු ලෙඩ ගොඩක් තියෙන මිනිස්සු ඉන්න දූපත් බිජ්ජක්. පොස් ගණයට වැටෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ අතික්‍රමණය කරලා අපේ උන්ට තියෙන්නේ වෙන බහුබූත ලෙඩ. මේවා ඔක්කොම ගැන එක පාර කියන්න ගියොත් බජට් එක කියෙව්වා වගේ නන්නස්තාර වෙන්න වෙනවා. ඒ නිසා එක ම එක ඒත් අසාධ්‍යම ලෙඩක් ගැන තමයි කියන්නේ.

මේ ලෙඩේ ගොඩක් තියෙන්නේ අපි ජීවත් වෙන ගෙදර උන්ට නෙවේ. සරලව කිව්වොත් අපේ වත්ත හතර මායිමෙන් එහා ඉන්න, අපිව දන්න හැම නරයාටම මේ අමාරුව තියෙනවා. අපි කක්කුස්සියට යන්නේ කොහොමද, ඒ ගියාම වැඩේ වෙන්නේ කොහොමද, මල බද්ධෙද නැත්තන් අර්ශස් වගේ ද කියන්න ගොඩක් උන්ට පුළුවන්. තමන් කක්කුස්සියට යන්නේ කොහොමද, ඇත්තටම තමන්ගේ ගෙදර දොට්ට පිළක් තියේද කියන එක නොදැන අනුන්ගේ ලැට් හාරන එක තමයි මේ ලෙඩේ.

සිරි ලාංකිකයන් වශයෙන් අපිට ටොම්බා වර්ගයේ නෑදෑ සනුහරයක් ඉන්නවා. ඒ හැමෝම අවංකව ම අපිට ආදරෙයි. හැබැයි මේ ලෙඩේ නිසා ආදරේ දෙපිටින් යනවා. තමන්ගේ ගෙදර ඉන්න කොල්ලයි බල්ලයි හදාගන්න කලින් අපේ වරිගේනේ ඉතින් කියලා තමන්ගේ අයියාගේ අක්කාගේ ළමයි හදන්න එනවා. තමන්ගේ එකී වැද්දෝ එක්ක ජවුසන් නටද්දී අනික් එකාලටයි එකීලටයි බණ කියන්න යන්නේ මේ ලෙඩේ මුළු සිරුර පුරාම පැතිරුණාට පස්සෙයි. විභාගයක් ආසන්නයේ වගේම විභාග ප්‍රථිපල එනකොටත් මේ අසනීප තත්වය උග්‍ර වෙනවා. ෆෝන් එකේ පිටේ බැඳන් හුබ්බ ගන්න බැරි තත්වෙට අහිංසකයෝ පත් වෙනවා .

කොල්ලෙක් එක්ක පාරේ කතා කර කර කියොත් අනික් අතට රොයිටර් පුවත් සේවය ගෙදරට වාර්තා කරනවා නිකන් මගුලේ ගියා වගේ. මේක ඇත්තවශයෙන් ම සාපේක්ෂ දෙයක්. මොකද සමහර ඩෙසිබල් කෙල්ලෝ ඉන්නවා අසහනකාරී චින්තාවෙන් ම කොල්ලෙක්ගේ ඇඟේ එල්ලෙන. එහෙම උන්ගේ CCTV හයි කරත් කමක් නෑ. ඒත් මනුස්සකමට කාත් එක්ක හරි කතා කිරීම ආනන්තරීය පාප කර්මයක් නෙවෙයි. විසි එක්වන සියවසේ හුළං පොදක්වත් ගෑවිලා තියෙන එකෙක් නම් ඔය තරම් වපර ඇහෙන් ඔය දිහා බලන් නෑ. පෙර කරපු මොකක් හරි පින් මහිමයකට අපේ ගෙදර මිනිස්සු දන්නවා මගේ යහළු ප්‍රතිශතේ වැඩි අගය දරන්නේ කොල්ලෝ කියලා.

වැදගත් ම සිද්ධිය තමයි මේ. අපේ බාහිර ස්වරූපය අනික් උන් දකින විදිය. මිනිස්සුන්ගේ රසඥතාවය වෙනස් තමයි. ඒක තේරුම් අරගෙන තමන් තමන්ගේ විදියටත් අනික් මිනිහට උගේ අමුඩේ ඇඳගෙන උගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන එකත් තමයි වෙන්න ඕනි. ඒත් මේ ලෙඩ්ඩු එක්ක බෑනේ ඕක කරන්න. මේක මම ප්‍රත්‍යක්ෂයෙන් ම තේරුම් ගත්තේ මගේ කොණ්ඩේ නිසා.  අවුරුදු දහතුනක් වෙන මගේ පාසල් ජීවිතේ අප්‍රසන්නම මතකය මගේ කොණ්ඩේ. ඒක සායි බාබා මාදිලියේ කොණ්ඩයක්. ඒකට සෑහෙන විවේචන තිබ්බා. බුඩු අම්මේ ඉතින් කියලා පිළිවෙලක් වෙන්නත්, එක එකාගෙන් වදන් අහගන් නැතුව ඉන්නත් හිතන් මම කොණ්ඩේ ඉස්ට්‍රෙට් කරා. අම්මපා තට්ටේ ගාන්න හිතුනේ ඊට පස්සේ. එකෙක් දෙන්නෙක් ඇරෙන්න හත්මුතු පරම්පරාව ම මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. අවංකව කිව්වොත් මට සෑහෙන දුක හිතුනා. ඒත් ටික කාලෙකින් ලෝක ධර්මතාවය.. අම්මටහුඩු වැරදුනා! ලංකා ධර්මතාවය තේරුම් ගත්තා. දැන් අවුලක් නෑ.

අපි ලෙඩ්ඩු එක්ක තරහා ගන්න නරකයි. අනුකම්පා කරන්නයි ඕනි. වසංගතේ වගේ ලෙඩේ පැතිරෙනවා නම් ලෙඩ්ඩු නැති ලෝකෙකට යන්න ඕනි. තත්වේ බලලා මමත් වෙන දීපංකරෙකට තොලොංචි වෙන්නයි හිතන් ඉන්නේ.