Wednesday, November 4, 2015

ඉරිඟු කොල්ලා

කෙවෙණි තුළ ම ගුලි ව නිදන දෑස් මගේ
කඳු අතරින් දිවෙන නුවර ගමන් මගේ
ලද යම් ක්ෂණයකින් විස්මයකින් වාගේ
දැල්වෙයි දකින විට මේ කොලුවාගේ රඟේ

උදයෙ ම අවදි වී ඉරිඟුත් තම්බාන
ඔප වැටි කමිසයෙන් ගත සිත සරසාන
පාර බලා හිඳ ඇසිපිය නොපියාන
බසයක් එන තුරා ඉනු මානවයාණ

එක අතකින් ඉරිඟු මල්ල එසවේවි
අනික් අතින් බසයට ඔහු ගොඩ වේවි
නිදිගත් සියලු දන නින්දෙන් ඇහැරේවි
පුස්ඹෙන් ඉරිඟු උන් ගත සිත පිරවේවි

සමබරතාව රැක හරි හපනෙකු සේම
කඳු පල්ලම් වංගු දුර්ග නොතකා ම
ජීවත් වෙන්න කරන ඉරිඟු වෙළඳාම
නිසරු නොවේ අග හිඟකම් පරදාම

කාසි පනම් එකි'නෙක එන විට අතට
තුතියෙන් යුක්ත බැල්මක් දෙයි බස් රියට
අලුතින් ලොව දකින ඉරිඟු මලක් ලෙසට
සතුටින් සිනා සී බැස යයි නිවහනට