Saturday, September 5, 2015

ප්‍රියයන්ට 'දෙන්න' යාම

ප්‍රියයන් පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනාගේ සිහියට එන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යන්නයි. නමුත් ප්‍රියයන් සිටිද්දීත් ඇතිවන සීන්කෝන් ගැන අපේ අවධානය යොමු කළ යුතු මනා ය.

තම ප්‍රියයන් වෙනුවෙන් නිදිමරන නිශාචරයන් වෙනුවෙන් නිදිමරන්නේ බොහෝ දුරට මදුරුවන් පමණි. ප්‍රිය පාර්ශ්වයේ එදිනෙදා සිදුවීම්, ඇති වූ අලකලංචි, පාළු මැකීම යනාදී මෙව්වා සියල්ල අපි නොපිරිහෙලා ඉටු කරන්නෙමු. නමුත් අපේ නව නිග්ගරහයක්වත් අසන්නට සිටින්නේ මදුරුවන්ම ය. කන වටේ සහ බොහෝ දුරට ලාවට වැදුන මදුරුවෙක් සිටී නම් නහය අස්සේ රිංගුවත් උන් සිටී. කොතරම් ජුගුප්සාජනක සත්ව වර්ගයක් උනත් බලු බල්ලෙක් නැතිකොට මදුරුවන්ගේ ඇසුර මට නම් දාහෙන් සම්පතකි.

තම ප්‍රියයන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමත්, ඇඳුම් පැළඳුම් අරන් දීමත් කරන නූතන අනේපිඬුවරුන්ගේ සියලු වියදම් දරන්නේ උන්ගේ දෙමව්පියන් ය. උදේට ප්ලේන්ටිය බී පැමිණ තම යාළු මිත්‍රාදීන්ට අතිශය පොස් ආහාරපානවලින් සංග්‍රහ කරන එවුන් රෑට ගෙදර ගොස් ලුණුමිරිස් හා බත් කා බුදියයි. අණ්ඩ දමමින් එකම යට ඇඳුම පට්ට ගහන එවුන් අහවල් පුද්ගලයන්ගේ හෙළුව වසන්නට රෙදි කෑලි දෙක තුනක් මුට්‌ටු කර අයිටම් බවට පත් කරන ලද ඇඳුම් ගණන් නොබලා මිළදී ගනී. කොතරම් ප්‍රිය උනත් අනිකන්ගේ හෙළුව සහ බඩ ගැන සිතීමට පෙර තමා ගැන සිතීම යෙහෙකි.

තම ප්‍රියයන්ට හිස තබා ගැනීම සඳහා උර දෙන අහිංසකයන්ට උර දෙන්නේ බසයක ජනේලය පමණි. බසයක ගමන් නොගනී නම් ඔවුනට සෙට් වෙන්නේ මොකක් හෝ කාණු පල්ලකි. අපි බොහෝ දුරට අනික් අයගේ සැප පහසුව ගැන සිතන ජාතියකි. පුළුවන් තරම් උත්සාහ ගන්නේ 'දෙන්න' ය. ඒ දීමෙන් තමන්ට කුමක් සෙට් උනත් විස්සෝපයක් නැත. මම දෙන්න ම උපන් අයෙක්මි. උර දෙන්න ගොස් මගේ ඔලුව පලා ගන්නට ගිය අවස්ථා කොතෙකුත් ඇත. නිට්ටාවට ජනෙල් වීදුරුවක් පලාගෙන මගේ හිස ගමන් කරන දවසක මම දෙන එක නවත්වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

තම ප්‍රියයන් හා ඕනෑම මොහොතක කතා කරන්නට බලා සිටින අසරණයෙක්ට කතා කරන්නේ දුරකථන සේවා සම්පාදක ආයතනය විසිනි. දවසට කෙටි පණිවිඩ දෙක තුනකිනුත් (බලාපොරොත්තු නොවන වෙලාවල) ඇමතුමකිනුත් මේ ආදරය දෛනිකව සිදුවේ. එය සුන්දර ය. සමහර විට සිරා පුද්ගලයෙකු හා කතා කරනවාට වඩා සොඳුරු ය. අනවශ්‍යය වියදම් නැත. කට රිදෙන්නෙත් නැත. අම්මලාට ඇහෙන්නෙත් නැත. සරලව කිවහොත් කිසිදු ගින්නක් නැත.

තම ප්‍රියයන්ට ටොපි, චොකලට් හා සීනිබෝල සප්ලයර් කරන්නෙකුට සීනිබෝලයක් ලැබෙතොත් ඒ මුදලාලිට ඉතුරු සල්ලි දීමට නොමැති අවස්ථාවක පමණි. සමහරවිට ටොපි පහක් ම ලැබීමට ඉඩ ඇත. හැබැයි මෙහෙම දෙයක් ද ඇත. චොකලට් හා ටොපි කෑමෙන් අනතුරු ඒවායේ දවටන ප්‍රියයන් විසින් පෙරළා ඔබ වෙත ලැබේ. කලිසම් සාක්කුවේ හෝ බෑග් එකේ ඔබ මේවා දමා ගත යුතු වන්නේ ඔවුනට අනුව 'මතක් වීම' පිණිස ය. මා සතුව මතක් වීමට රැස් කරගත් කඩචෝරු පැකට් සෑහෙන ඇත.

තම ප්‍රියයන් වෙනුවෙන් කවි හෝ එවැනි යමක් ලියන්නෙකු වේ නම් ඔහු වෙනුවෙන් ලියැවී ඇත්තේ උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත පමණි. ඒත් සමහරුන්ගේ එසේ ලියවුණු දේ කියවන්නට පරණවිතාන මහතාගේ සහය අවශ්‍යය වේ. නමුත් අපි බෝල අකුරුවලින් සීරුවට රවුමට සේකර ටෝක්ස් දෙන්නෙමු. අපේ ඇඟෙන් මදන මෝඩකම පහව යන තෙක්ම අපි මෙය කරන්නෝ වෙමු. 

අවසාන වශයෙන් කීමට ඇත්තේ අපි නොදැනුවත් ලෙසම හෝ කරන්නේ අපේ ප්‍රියයන් සතුටෙන් තැබීම පමණක් බවයි. එසේ කිරීමෙන් අපි සතුටක් ලබන්නෝ වෙමු. යමක් බලාපොරොත්තුවෙන් පමණක් ප්‍රියයන් ජිවිතයට ලඟා කරගන්නා මෝඩයෙක් නොවීමට සිහි තබා ගැනීම අවැසි ය.