Monday, August 24, 2015

සිංහලේ කෙල වීමේ පර රුදාව

මේකේ මාතෘකාව උග්‍ර ජාතිවාදී සීන් එකක් දුන්නට මේ ඊට හාත්පසින් වෙනස් කිරිටොපි මෙව්වා එකක් ගැන මෙව්වා එකක්. මේක ලියවෙන්නේ උසස් පෙළ විභාගය හා සම්බන්ධ සිංහලේ අරභයා. මගේ අම්මයි අප්පච්චියි දෙන්නම සිංහල ගුරුවරු වෙච්චි. අප්පච්චි හිටපු සිංහල කථිකාචාර්ය කෙනෙක් වෙච්චි. ලොකු අප්පච්චි දැනුත් ෆීල්ඩ් එකේ ඉන්න රටේ ගොඩක් දෙනා දන්නා සිංහල කථිකාචාර්ය කෙනෙක් වෙච්චි. සෝ එකට කිව්වා නෙවේ ඉතින් කතාවට එන්ටර් වෙන්න මේ තමයි පදනම.

පුංචි කාලේ ඉඳන්ම මම හැදුනේ පොත් එක්ක. සිංහල භාෂාවෙන් ලියවුණු පොත් එක්ක. ඒ වයසේ අනික් ළමයින්ට වඩා හෙන පොර ඉතින් සිංහල සම්බන්ධෙන් මම. දැන් තමයි පොඩ්ඩක් ලොන්තපොල් වෙලා ඉන්නේ කරුමෙට. උසස් පෙළ ගැන තුත්තුකුඩියේ වගක් නැති කාලේ ඉඳන්ම මම කස්ටියට කිව්වේ මම කවදා හරි සිංහලවලින් උසස් පෙළ කරනවා කියලා. පස්සේ තමයි ඉතින් දන්නේ එකක් කොරන්න බෑ හිටන් තව දෙකක් තෝරාගන්න ඕනි ය කියලා.  අපරාදේ කියන්න බෑ ඉතින් අම්මයි අප්පච්චි මට කැමති දෙයක් උසස් පෙළ කරන්න තෝරගන්නෙයි කිව්වා.

----------------------------------------------------------------------------------------

"දුව ඔයා බයෝ කරන්න.. අපේ දෝණි එක්ක එකට ක්ලාස් යන්නත් පුළුවන් (අපෝ ඔව්.. ඔය දෝණි එක්ක එකට ගිහින් තුන හතර වෙලා තමයි එන්න වෙන්නේ)"

"ඇයි තමරා, දුව ආර්ට්ස් කරන්නේ? ඔයාලා බල කරාද මෙයාට? හොඳ රිසල්ට් එකක් තියන් ආර්ට්ස් කරන්නේ නම් අපරාදේ නේද? (නෑ.. නෑ.. කිසි අපරාධයක් නෑ. දක්ෂ ළමයි ආර්ට්ස් කරනවා දැකලා නැති අවුලක් මෙතන තියෙන්නේ)"

-----------------------------------------------------------------------------------------

සිංහලේ පර රුදාව කියන්න කලින් මම උ/පෙ ට මොන කෙන්ගෙඩිය කරනවද කියන රුදාව ඔය වගේ තමයි උනේ ඉතින්. හැමෝටම හෙනම අවුල උනේ මම ආර්ට්ස් කරන එක. හරියට නිදාගන්නෙත් නැතුන් කල්පනා කරන්න ඇති මම ගැන ඒ දවස්වල. ඕනි පශ්චාත්භාගයක් ප්‍රීති වෙසක් කියලා ඔය එකක්වත් නිසා මගේ අදහස මම නැති කරගත්තේ නෑ. මේ විභාගය මේම... මේම... මේම අමාරු එකක් ය කියලා රෙකෝඩින් එකක් හැමදාම වගේ කොහෙන් හරි අහන්න ලැබුන නිසා මමත් පාඩම් කරා හොඳට. 

නන්දිමිත්‍ර ඩයල් එකක් උනාට මොකෝ ඉතින් ඉස්සෙල්ලාම විභාගේ ලියන්න ගියපු දවසේ ලෙසටම මට භීතිකාව. දාඩිය දානවා එහෙන්. වතුර තිබහා හැදෙනවා එහෙන්. පරිසරයට විනාඩියක් කරන්න යන්න හිතෙනවා තවත් පැත්තකින්. ඔහොම ඉන්නකොට ඉතින් මට වෙලාව මදි. අනික ඉස්සෙල්ලම පුදනකොට ම කෑ පපඩම් වගේ තිබ්බෙත් සිංහල. මළගිය ඇත්තෝ ප්‍රශ්නේ ලියන්න පටන් ගන්නකොටම කොහෙන්ද මතුවෙච්ච අයිටමයක් මගේ පේපර් එක අරන් ගියා. එළ කෑල්ල නැති වෙච්ච එළ හරකි වගේ ඉතින් මම ගෙදර ආවා වැඩේ නන්නපුරාවට ම ඉවරයි කියලා තේරුන් අරගෙන.

කොහොමින් හරි විභාගේ ඉවර උනා කියමුකෝ. ප්‍රතිඵලත් ආවා කියමුකෝ. 'ඒ' සාමාර්ථ දෙකක් ඇවිත් තිබ්බා ගිය ආත්මේ සෞදි අරාබියට බොරතෙල් පටවපු පිනෙන් තර්ක සාස්තරෙටයි දේසපාලනේටයි. මගේ ඇට මිදුළු එක්ක සම්බන්ධ වෙලා හිටපු සිංහලවලට ඇවිත් තිබුනේ හත්තිලව්වේ 'බී' එකක්. ඒක දැනගත්ත වෙලාවේ ගෙදර අය දුක පෙන්නුවාට ටිකකින් හරි ගියා. මම පුල්මුඩ් වෙලා ඉන්නවා දැකලා අප්පච්චි කිව්වා "ඔයාට කීර්තිය සම්බන්ධ ප්‍රශ්න එයි. එච්චරයි ඉතින්. ගණන් ගන්න එපා" කියලා. එයා එහෙම කිව්වට දෙයිහාන්දුරුන් පල්ලා මිනිස්සුන්ගේ විස්සෝපේ තේරුණේ දවස් දෙකක් තුනක් ගියාම.

සිංහලේ පර රුදාව දැක්කේ ඊට පස්සේ තමයි. පාරේ ඉන්න නාට්ටමියා ඉඳන් එක එකා සරල ආතලයක් ගත්තා සිංහල ටීචර්ගෙයි සර්ගෙයි දුවට සිංහල සෙත්තම් වෙලා කියලා දැනන්. එක එක වැඩවලට ඉස්කෝලෙට ගිය හැමදාම සුවිශේෂ සෙට් එකක් මට නව නින්දා දුන්නා. යාළුවොත් කින්ඩි දුන්නා දොබෙං යන්න. ගොඩක් උන් මගේ විලි වහන්න ආවේ උන්ගේ රෙදි ගලෝගෙන. ඒත් ඉතින් මූණ මාත් එක්ක තරහ උනා කියලා මම නහය කපාගන්න ගියෙත් නෑ. සිංහල බොක්කෙන් ගොඩ යන්න බැරි උන නිසා මට එක එක කතා අහන්න උන එක සාධාරණයි. ඒත් මේ වගේ හුටාර් ලෙවල් එකකට ඒවා අහගන්න උන එක ගැන නම් මට තියෙන්නේ තරහ මිශ්‍ර දුකක්. මම මගේ මුළු ශක්ති ප්‍රමාණයෙන් ම පාඩම් කරලයි ඔහොම උනේ. ආතක් පාතක් නැතුන් විභාගේ ලියපු සොත්ති උපාලියෙක් නෙවෙයි මම. 

අපේ ඈයෝ අපෙන් බලාපොරොත්තු වෙනවට වඩා පඩික්කමක් අනික් උන් බලාපොරොත්තු වෙනවා කියලා වෙලාවකට හිතෙනවා. එහෙමත් නැත්තන් අනික් අයගේ ආතල් කුඩු වෙලා නිසා අපේ කුඩු වෙන දෙයක් මහා ඉහළින් විපස්සනා කරනවා. කස්ටිය පල් පාට් දාපු කාලේ මට පොඩි මෙව්වා එකක් හිතේ තිබ්බට මොකෝ දැන් නම් පන් කන්ටිනිවුස්.... මම සිංහල කෙලා-හුටා කරගත්තේ දැනුම නැතුව නෙවෙයි. ඒ බව මම දන්නවා. වටේ පිටේ ඉන්න ගල් බම්බු නොදත්තාට ගෙදර ඈයෝත් දන්නවා.

මෙහෙම දෙයක් ලියවුනේ ශිෂ්‍යත්වේ කියලා විභාගයක් ඊයේ තිබ්බ නිසා. පුංචි එකා ෆේල් නම් ඒකා තලා පෙලා දානවට වඩා ෆෝම් කරලා ගන්න එක හෙන සිරා. මමත් ශිෂ්‍යත්වේ ෆේල්. ඒත් අමන මැටි මොන්ගලයක් නෙවේ (පොඩ්ඩක් ඉතින් දන් නැද්ද?). පිට මිනිස්සුන්ගේ නරි නාටක අපේ ඔළු අස්සේ දාගෙන ඒ ගැන හිතලා අපි සිරා ම අපතය එහෙමත් නැත්තම් මේක තමයි ලැබීම ය කියන බයිලා හිතන්න වෙන්නේ ගෙදර අයටත් අපිව පරාජිතයෙක් විදියට පේනවා නම් විතරයි. මම මගේ මල්ලිට වීරයෙක්, ඉඳලා හිටලා කුණුහරුපයක් කිව්වට ඒක එහෙමමයි. අම්මයි අප්පච්චියි දෙන්නත් දන්නවා මම කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා දැන් ඔය මොක්කු මාව බලු කරත් උන් මට නිකන් පාලම් කොක්කු ටිකක් විතරයි.