Monday, May 4, 2015

අරුම පුදුම පුංචි ගමන

මම එකසිය ගානට මේ දවස්වල ගෙදරට නාකි වෙනවා උනත් අපේ ගෙදර ඈයොන්ට නිවාඩුවක් ලැබෙන්නේ බොහොම අමාරුවෙන්. ඒ ලැබුණු මෙව්වා එකෙන් ප්‍රයෝජනේ ගන්ට හිතන් අපේ 'ගෙදර'ට එපිටින් තියෙන 'පුංචි ලෝකාන්තය' බලන්න ගියා කියහල්ලකෝ! අහවල් දිනේ එළිවෙන්ටවත් එහෙව් ගමනක් යන බවක් මම දැනන් හිටියේ නෑ. බොහොම අමාරුවෙන් තමයි අටට විතර මාව ගෙදර අය නැගිට්ටවා ගත්තෙත්.

ගමන පටන් ගන්නත් කලින් සුපුරුදු කඩචෝරු මල්ලක් ම ගත්තා. කඩචෝරු කිව්වට එහෙමට චෝරුවක් නෑ. යන මග දිගට බඩගින්නක් එන එක දෛයිවෝපගත නිසයි එහෙම කලේ! ඉතින් දැන් ඔන්න අපි යනෝ. යන පාර වැටිලා තියෙන්නේ මගේ ඉස්කෝලේ කාලේ මතක ගොඩක් මැද්දෙන්. වෙන කෙහෙම්මලක් නෙවේ මගේ හොඳම යාළුවා ඉස්සර හිටියේ ඒ පැත්තේ. එයැයි දැන් නුවර ලමිස්සියෙක්. මේ විදියට මතකයන් මහා ගොඩකුයි, තේ වතුයි, කඳුයි මැද්දෙන් ලෑල්ලට පාගාගෙන යන්න ගියා.

මේ ලෝකාන්තය තියෙන්නේ මඩොල්සිම කියන ඉසව්වේ. පස්සර ටවුමෙන් පිටමාරුව පාරට වැටුණා ම ඔන්න ඉතින් හරි පාරේ. මේ ලෝකාන්තයට යන පාර ගැන වචනයක් කියනවා නම් ඉතින් සුම්මා! පිහිටලා තියෙන්නේ රෝබෙරි වතු යාය කෙළවර. ඒ වත්තට යන්න කලින් තව නොසෑහෙන ලස්සන තේ වතු ගොඩක් පහු කෙරෙනවා. යෝධ මිනිස්සු වගේ නැගිටලා ඉන්න කඳු, පාර දෙපැත්තේ ම ආය ඉතින් කන්න හිතෙනවා බදාගෙන. පාරවල් උනත් බත් දාගෙන කන්න පුළුවන් මට්ටමට හදලා නිසා අවුලක් ම නෑ. හැබැයි සමහර කඩතොළු වෙච්ච තැන් තිබ්බා. ඒත් මේ පාර අපේ ගෙදෙට්ට යන පාරට වඩා සෑහෙන දියුණුයි. 

මඩොල්සිම ටවුම පහුවෙනකොට මගේ කඩචෝරු පංගුව අහවර වෙලා තිබ්බේ. අනික් අයට නම් ගාණක්වත් නෑ. ඒත් කොයි ම වෙලාවකවත් කෑම තනි කරන්න නරකයි. ඉතින් ඔන්න ඕකයි උනේ. ටවුමට ටටා කිව්වා විතරයි මට නම් දැනුනේ අමුතු ම ලෝකෙකට ගියා වගේ. මිනිස්සු උනත් මුණ ගැහුනේ කලාතුරකින්. තනිකර ම අපේ ගෙදර කස්ටියයි, කොළ පාට අවකාශෙයි විතරයි. අපි යන අතර මග පුංචි ළමයි වාහනේට අත දැම්මා නගින්ට කියලා හිතන්. කොහේ ඉඳන් එනවාද, තව කොච්චර පයින් යන්න තියෙනවාද කියන්න දන්නේ නෑ. පැටවු ටික දාගෙන යන්න තිබ්බා අපේ මල්ලි ව බැස්සුවා නම්. බඩු මලුත් උස්සන් මග දිගට තවත් ගොඩක් අය ගියා. ඒ හැමෝගේ ම මූණුවල තිබ්බේ මහන්සියක්. ඒත් ඒ මැද්දෙන් අහිංසක විදියට හිනා වෙන්නත් හයිය හත්තියක් ඒ මිනිස්සුන්ට තිබ්බා. මෙච්චර ලස්සනට හදලා තියෙන පාරේ බස් යන් නැද්ද? එහෙමත් නැත්නම් මේ මිනිස්සු බස්වල යන් නැද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද්දේ ලෝකාන්තේ දිහාට ශේප් එකේ අපි කිට්ටු කරා.

වෑන් එකක් අපි යන මග නතර වෙලා තිබ්බා. ලෝකාන්තෙට ම ඔප්පු වෙන්න මේ රථේ අර මූකලානේ මැද්දේ නැවතිලා. ඇච්චෝ බැච්චෝ ටිකකුයි ලොකු ඈයෝ දෙතුන් දෙනෙකුයි ලොවෙත් අසරණ වෙලා. ඒ පාර අපේ කාර් එකට මොනාදෝ වයර් වගයක් ගහලා මොකද්ද විජ්ජාවක් කොරන්න ගියා. මට ඕවා තේරෙන් නැති නිසා ඒ ටිකට තේ වත්තක් මැද්දට ගිහින් මම හුරේ කියලා සෙල්ෆි හැට හැත්තෑවක් ගැහුවා. ඔච්චරයි ඉතින් මට කොරන්න පුළුවන්. එක එක මානසික තත්ත්ව ඉතින්. අපේ අම්මා සෙල්ෆි හඳුන්වන්නේ 'අපේ දුවයි පුතයි ගන්න විදියේ ෆොටෝස්' කියලා. අර වෑන් එකේ කස්ටිය කිව්වා මෙතන ඉඳන් නම් කාර් එකට යන්න බැරි බවක්. ඉතින් අපි ඒ ටික පයින් යන්න හිත හදාගත්තා.


අර පොරවල් ඇත්ත තමයි කිව්වේ. වෙන වාහනවලට යන්න ඇහැක් උනත් කාර් එකට නම් යන්න බැහැ. දැන් ඔන්න අපි ගාටනවා. මට හිතුනේ දැන් මොකෙක් හරි පිහියක් අමෝරාගෙන මේ තේ වත්ත මැදින් මතු වෙයි කියලා. ඒ තරමට මිනිස් පුළුටක් නෑ. දන්න ඇටි කෙහෙම්මලක් නැති උනාට නඩේ ගුරා වගේ මම තමයි ඉස්සෙල්ලා ම ගියේ. එහෙම ගිය මගේ සැර බාල උනේ සඟ දාපු නයිට් රයිඩර් ඩයල් දෙකක් බයික් එකක් උඩ ඉඳන් මම දිහා කන්න වගේ බලන් ඉන්නවා දැකලා. එක පාරට නවතින්න බැරි නිසා මම හෙන උද්භිද විද්‍යාඥයා වගේ ලඟපාත වල් පැළයක් නිරීක්ෂණය කරන්න පටන් ගත්තා ගෙදර සෙට් එක මට කිට්ටු කරනකන්. එයයිලා ආවට පස්සේ ආයෙත් දැඩි එඩි පාගෙන ඉස්සරහට ම ගියා. ළං උනාට පස්සේ තමයි දැක්කේ මේ ඉන්නේ රෝමියෝ ජුලියට් අයිටම් එකක් කියලා. අපි ඉතින් බොරුවට බයවෙලා. 

අපි ලෝකාන්ත සීමාවට ආවා ම හෙන උඩක තවත් දෙන්නෙක් වෙලිලා හිටියා. මට නම් උන් දෙන්නා  ව තල්ලු කරලා දාන්නමයි හිතුනේ. කරගන්න සෙප්පඩයක් කරගන් නැතුව උන් දෙන්නා හිනා වෙවී මම සීරියස්  ඡායාරුපකරණයේ යෙදිලා ඉන්නවා බලන් හිටියා නිකන් දැකලා නෑ වගේ. අපේ අම්මා මේ වෙනකොට එකසිය අටවාරයක් විතර 'කාගේ හරි ළමයිනේ' කියලා මන්තර ගාණට ජපේ. කාට කිව්වද දන් නෑ හැබැයි. එක්කෝ මට, නැත්නම් එයා ඒක වා තලයට මුසු කරන්න ඇති. උන්ට හෙණ වදින්න ඒ අස්සේ මගේ කකුල කූඩල්ලෙක් කාලා. අච්චර කකුල් ගොඩේ මේ ගෝතයා මගේ කකුලේ ම එල්ලුනා. හද වි'ලේ' ඔබ පීපුණා වගේ මගේ කකුල ගන්න දෙයක් නෑ ලේ විමානේ. මගේ කකුල මගේ අමාරුව නිසා ඒකත් යන්තන් සේප් කරන් මමත් හිමීට ලෝකාන්ත දර්ශනේට හොම්බ දැම්මා.

"මට තාම දහනවයයි. අපේ අම්මලා මාව මහන්සියෙන් හැදුවේ. දැම්ම මැරෙන්න බෑ. කරන්න දේවල් ගොඩක් තීනවා!' පිස්සු පීකුදු ඕයි! මනුස්ස ජිවිතේක වටිනාකම දැනෙන්න ලෝකාන්තෙකට හොම්බ දික් කරන්න වෙයි කියලා මම හිතුවේ නෑ. ආරක්ෂක වැටක් තියා නංචි වැටක්වත් නෑ බන්. ඕනි කෙනෙක්ට පය බුරුලෙන් තබා යන්න විතරයි තියෙන්නේ. මොනා උනත් පට්ට දර්ශනේ. ඌව වෙල්ලස්ස ම චිත්‍රයක් වාගේ ය. මේ සීන් එකෙන් නැගෙනහිර පළාත් සීමාව තෙක් ම පේනවා ය. ආතල් ය. භයානක ය. අව්වක් වැටිලා තිබ්බත් ඇඟේ වැදෙන හුලන් පාරට අව්වත් සැලෙන්ඩර් ය. මේක නම් අදහන්ට වටිනා තැනක් ය.

ඉතින් ලෝකාන්ත සොමියෙන් ඔකඳ වෙලා අපි ආයෙත් ගෙදර බලා යන්න කාර් එකටත් ඇවිත් හරි බැරි ගැහුනා. ඒ ටිකක් යද්දී මගදී අපේ වාහනේට නගින්න අත දාපු කොලු රෑන එනවා පෙනුනා. දෙවි සන්තේ! උන්ට කොයි තරම් මහන්සියක් දැනෙනවා ඇතිද? මට හීනෙක අංශු මාත්‍රේකින්වත් හිතන්න බැරි දුරක් මේ පොඩි උන් ඇවිල්ලා. ඒත් මුළු මූණේම හිනාව. ඇවිල්ලා විතරක් නෙවේ. තවත් අපිත් පහු කරගෙන යනවා. මොන තුත්තුකුඩියට යනවාද කියන්න දන්නේ නැති උනත්, යන ටිකට හොඳ පණ ගෙවෙනවා ඇති කියලා එවෙලේ නම් හිතුනා. සිරාවට! ලංකාවේ ඇති නැති පරතරේ කොච්චර අමන ද? තුප්පහි ද? මේ අහිංසකයෝ කඳු බඩ ගාන ටිකට තවත් තැනක කොලුවෙක්ට අම්මෙක් හුබ්බ ගන්න බැරි තරමට කවනවා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් තවත් තැනක කාපු පීසා පොල් සම්බෝල් ටික දිරෝගන්න බැරුව ජිවිතේ හරිම සාටර්, ලයිෆ් එක වැඩක් නෑ වගේ ගොන් ආතල් ගන්න සැට් ඉන්න පුළුවන්. තව ඉන්නවා ඇටෙන් පොත්තෙන් එළියට ආ ගමන් අපි හෙන ගෑල්ළමයි ය. ඒත් අපිට කොල්ලෝ නැතිය කියලා හූල්ලන අටේ නවයේ කෙල්ලෝ. ඒකත් අතරේ මම වගේ ගොබිලකම වෑහෙන පොස් කියලා හිතන් ඉන්න (ඒත් එහෙම නැති) උන් ඉන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දී මට එවෙලේ තිබ්බ එක ම ප්‍රශ්නේ ලෝකාන්තේ check-in කරන්න හරියට නෙට්වර්ක් එක නොතිබ්බ එක. විලි ලැජ්ජාවේ බෑ බන් තිරිසණි. මේකයි වෙන්නේ! අපිට කාලා කාලා තෙල. ඕක මෙව්වා වෙන්න යන කාලේ වැඩී. අම්මලාගේ භාෂාවෙන් කිව්වොත් සැප වැඩී. 

ඒ අරුම පුදුම ලෝකෙන් එළියට ඇවිත් අපි කරේ බඩ කට පුරා කාපු එක. කන අතරෙත් මට හිතුනේ අර ළමයි තාමත් දං ගෙඩි කකා ගෙදර යනවාද දන් නෑ කියලා. මඩොල්සිම අරුම පුදුම වටපිටාව නිසා ම නෙවේ. මූදු හතක් ගලන්න අඬන්න හේතු තියෙද්දිත් ඒ මිනිස්සුන්ගේ හදවතෙත් මූණුවලත් තිබ්බ හිනාව! ඒක හරි ම පුදුමයි. ඕනි කරන සැප පහසුකම් හැම දේම තියන මිනිස්සු පඩංගු කඳුළු තුන්සිය හැටපස් දවසෙම ඇස් දෙකේ පුරෝගෙන ඉන්දැද්දී අර අහිංසකයෝ හිනාවෙන්නේ කොහොමද? ඒ හිනා වෙන්නේ අපිටද? හරි ම පුදුමයි!