Wednesday, April 15, 2015

සොපින්? සොපින්

මෙතුවක් කාලෙකට ලබන මූසලම 'සුබ' අලුත් අවුරුද්ද ලැබුවේ මේ අවුරුද්දේ වෙන්න ඕනි. වෙනදට ඉලව්වක් වෙනකන් කෑ ගහන කොහා හොයාගන්නත් නෑ. අපිට නම් ඉතින් ගානක්වත් නෑ. රේඩියෝ, ටෙලිවිෂන්වල එක එක විදියේ කොහා පාට් යන නිසා අවුලක් ම නෑ. කොච්චර මූසල උනත් පොතේ හැටියට සුර්යයා රාශි මාරු කරනකොට අලුත් රෙදි ගන්න එපැයි. ඒ නිසා කාට නැතත් කඩවල්වල එවුන්ට නම් සෑහෙන අවුරුදු ඇති. 

කාලෙකින් මිත්‍රයෙක් එක්ක කතා කරනකොට කොච්චර වැදගත් දේවල් තියෙනවද අහන්න. කවදද මගුල? ළමයි කීයද? කොහොමද ඉතින් පවුල් ජිවිතේ? වගේ වැදගත් ප්‍රශ්න තමයි මතු කරන්න ඕනි. ඒත් මේ මෑතකදී මට කතා කරපු හැම සකියාම ඇහුවේ එකම ගොබිල ප්‍රශ්නයයි.

'ආහ් තිසා... රෙදි ගත්තද?'
'ඉතින් ඉතින් අවුරුද්දට ඇඳුම් ගත්තද?
'ෂොපින් ගියාද බන්?'
'උඹ නම් ඇඳුම් ගන්න ඇති නේ?'

මොන රෙද්දක් ගැනද මුන් මේ අහන්නේ? රෙද්ද ගැන විතරද අහන්න තියෙන්නේ? ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ? අවුරුදු සොපින් නැකත පොඩි වෙලාවකට අමතක කරොත්, මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔය කඩවල් අස්සේ රස්තියාදු වෙන එකට අකමැති කෙනෙක්. අයෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. ඇයි ඉතින් සමාජ සම්මතේ සියලු කාන්තාවෝ සොපින් කෙරෙත් කියන එකනේ. අනේ මන්දා ඉතින් කොහොමත් මගේ සිස්ටම් එක සෑහෙන අවුල්. ඒ කියන්නේ මම හිතන මතන විදිය. උපන් හැටි තමයි. හැබැයි ඕනිම දෙයකට අපි නිකන් ම අකමැති වෙන්නේ නැහැනේ. හැම දෙයකට ම හේතු තියෙනවා. ඇඳුම් ගන්න යන්න අකමැති කියන එකේ තේරුම මම නිර්වස්ත්‍ර ව ඉන්නවා කියන එකත් නෙවෙයි. සිස්ට සමාජේ නිසා කොහොම හරි රෙද්දක් පලක් ඇඳන් ඉන්න එපෑ. ඒකට මම අනිවා කඩයක් අස්සේ රිංගන්න ඕනි. මොකද මට තියෙන්නේ කාටවත් කියලා රෙදි කෑල්ලක් ගෙන්න ගන්න පුළුවන් ශරීර ස්කන්ධයක් නෙවෙයි. 

ඔන්න දැන් හා හා පුරා කියලා ඇඳුමක් ගන්න ගියා කියමු. හුස්ම ගන්න කලින් සේල්ස් පර්සන්ස් කියන එවුන් ඇවිත් ඇඟේ එල්ලෙනවා. රෙද්දක් ගැන හිතන්න කලින් උන් අහලා ඉවරයි මොනාද ඕනි මොනාද ඕනි කියලා. පොඩ්ඩක් ඉඳින් තාම හිතලා නෑ කියලා ඒ වගේ වෙලාවක කියන්න ඕනි. මම එක ම එක පාරක් එහෙම කියලා තියේ. ඒක ඉතින් එවුන්ගේ රස්සාව තමයි. ඒත් ඒක කරන විදියක් තියෙනවා නේ. සමහරු ඉන්නවා නරි නැට්ට වගේ පස්සෙන් එනවා. තවත් එවුන් ඉන්නවා අලි වංසේ. ආසාවට උදව්වක් ගන්න බෑ. එක්කෝ ෆෝන් කටු ඔබ ඔබ ඉන්නවා, නැත්තන් අනික් අය එක්ක විචාරශීලි සංවාදවල නිරත වෙලා ඉන්නවා. එහෙම එකෙක්ට කතා කරාම එන්නෙත් මූණ කොරහා කරගෙන. එලිසබෙත් නෝනලා නිසා!

අනික් නරකාදිය තමයි ෆිට් ඔන් කෙරුවාව. මේක දිවි පරදුවට තියා කරන්න ඕනි වැඩක්. මොන කරුමෙකට දෝ උත්සව කාලෙක අක්කා කෙනෙක් එක්ක මට සොපින් යන්න උනා. ඇතුලට යන්න කලින් ම මට තේරුණා අද නම් ඔළු ටික බලලා තමයි එන්න වෙන්නේ කියලා. ඔන්න දැන් කස්ටිය ම පිස්සු හැදිලා වගේ ඇඳුම් තෝරනවා. උත්සව ප්‍රීතියෙන් ඔකඳ වෙන්න කලින් මම රෙද්දක් දෙකක් නිවී සැනසිල්ලේ අරන් තිබ්බා. ඒ නිසා මම ෆෑන් එකක් යටට වෙලා මේ මිනිස්සුන්ගේ කෙරුවාවල් බලන් හිටියා විතරයි. ඔන්න ඉතින් මැදි වයසේ නෝනා කෙනෙක් අතේ, ඔළුවේ වගේ ම බෙල්ලෙත් රෙදි තොගයක් පටලන් ෆිට් ඔන් එක පැත්තට දිව්වා. තව කොහෙන් හරි රෙද්දක් එල්ලගන්න තිබ්බා නම් ඒකත් කරන්න තිබුණා. ඒ ගියත් එයාට ඒ ඔක්කොම ෆිට් ඔන් එක ඇතුලට අරන් යන්න බැහැ නේ. ඉතින් දැන් මෙයා සේල්ස් පර්සන් කෙනෙක් එක්ක ඒ ගැන විවාදේ. එතන එක ම ගාල ගෝට්ටියයි. මේ මොන විලි ලැජ්ජා නැති වැඩක් ද කියලා මම හිතෙන් හිනා වෙවී හිටියේ. අම්මේ ඉතින් ඔව්වට සෑහෙන පෝලිම්! රෙද්දක් ගත්ත ගමන් පණ ඇරලා, පුළුවන් නම් ඩමී දෙක තුනකුත් පෙරලගෙන දුවන්න ඕනි! නැත්තන් කස්ටිය එන්න එන්න ම වැඩි වෙනවා නේ.

අනික බන් සමහර ෆිට් ඕන්ස් හිමාලය පැත්තේ හඳුනා නොගත් ගල්ගුහා වගේ. සමහර එව්වා තියෙනෝ දෙකට තුනට නැවීගෙන අඳින රෙද්දක් අඳින්න ඕනි ඒවා. මට ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ ඒ වගේ උල්ලුක තමයි. අත් කකුල් එහේ මෙහේ කොරන්න බැරි, කුදා ඉස්ටයිල් එකෙන් ඇඳුම අඳින්න ඕනි වගේ ම එකසිය ගානට දාඩිය සෙට් වෙන පොට් ඕනා තරම්. මෙව්වට රිංගන ගෑණු මිනිස්සු ගොඩක් දෙනා රෙදි අඳිනවාට අමතර ව රෙදි හෝදන එක, වේලෙන්න අව්වට දාන එක වගේ වැඩ කරනවා මයේ හිතේ. එහෙම එවුන් රිංගුවොත් රිංගුවා තමා. සෑහෙන වෙලාවක් ගන්නවා රෙද්දක් අඳින්න. අනික මේ රෙදිවලින් ප්‍රීති වුණා ම මනුස්සකමක් ඇත්තේ ම නෑ ඉතින්. තල්ලු කරගෙන බැරි නම් මරාගෙන ටයිප්! වැඩියෙන් ම උත්සව කාලෙට තමයි ඉතින් මේ සිද්ධි වෙන්නේ.

ඉස්සර අපේ ජන සම්මතයේ සොපින් කට්ට තිබ්බේ නැහැනේ. එක්කෝ වෙළෙන්දෙක් ගමට එනවා. එහෙමත් නැත්තන් කඩමණ්ඩියේ සෙට් වෙනවා. හම්මේ ඉතින් කඩමණ්ඩි අද තියෙන සොපින් සංකීර්ණ වගේ නෙවේ. මේ දෙකෙන් එකක්වත් නැත්නම් ලස්සන ඇඳුමක් තමන් ම හෝ ගමේ රෙදි මහන නැන්දා කෙනෙක්ට කියලා මහගන්නවා. අලුත් අවුරුද්දට අලුත් ඇඳුමකින් හැඩ වෙලා අලුත් වෙන මානසිකත්වය තිබ්බත් තෙරපි තෙරපි අලුත් ඇඳුම් අරන් විලි වහගන්න ඕනි කමක් තිබ්බේ ම නෑ ඒ කාලේ අපේ ඈයොන්ට! කොහාත් විකිණෙන මේ කාලේ රෙද්ද ගැන කවර කතා ද ඉතින්? අනික අපිට නැතත්, අපි අඳින පළඳින විදිහ ගැන අපේ වටේ ඉන්න අයට තමයි ඌයියා එක්ක.

ඒ වෙලාවට තමයි සොපින් සිස්ටම් එකට හෙන වැදෙන්න කියලා කොළ අතු ටිකකින් වහගෙන  ඉන්න හිතෙන්නේ, සත්තකින් ම.


5 comments:

  1. සාප්පු සවාරියට සුදුසුම සමය තමයි මාර්තු අග.
    අලුත් අවුරුදු වට්ටම් දෙන්න පටන් ගන්නවා ඒත් කඩවල්වල සෙනඟත් නෑ.

    මාතෘකාවට අනදාළ වූවත් බ්ලොගවකාශයේ දුටු කියමනක් මෙතන හලා යමි.
    කලකට පෙර ලේඛකයකු දුටු පොදු ජනතාවගේ අවුරුද්ද:
    "සූර්යයා මේ වනවිට පැමිණෙමින් සිටින්නේ මීන රාශියේ සිට මේස කිහිපයකට පමණි." - දයාසේන ගුණසිංහ

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද අටවලා තිබ්බත් අවශ්‍යය වුණේ රෙදි කඩ අස්සේ වෙන නාඩගම ගැන කියන්නයි.

      අපේ මේසෙටත් දවසක ඉර පායාදෝ! :')

      Delete
  2. මුලු ලෝකෙම රෙඩි මේඩ් හොයද්දි මම තාමත් අදින ඒවයින් බොහෝ ඒවා ගමේ ටේලර් සාප්පුවෙන් මහපුවා...මට අනුව ඇදුම කියන්නෙ මිනිහාගේ බාහිර පෙනුම විතරයි... පිටට මොකුත් නැතිව මිනිස්සු කාලෙ ගතකරපු කාලෙ ඇදුම් ඇදන් හිටිය කාලෙට වඩා වැඩි ඇති මනුස්ස පරිනාමයේ..
    ඇදුම විසින් අපිව අන්දවනවාට වඩා අපිට ඕනි විදියට ඇදගෙන ටිකක් සැහැල්ලුවෙන් ඉන්න ඇදුම් තමයි මම මහගන්නෙ... ඒ විදියට මෝස්තර කීපයක් විතරක් තිබුන ගමේ හිටපු ටේලර් උන්නැහේගෙන් රෙදි කෑල්ලක් දීල රෙදි මහපු අතිතෙ අපි අයින් කරගෙන අපි යනවා ලොකු කඩවලට සේල් සාප්පු වලට..ඒ ගිහින් රෙද්දක් තෝරගන්න ගියාම ඉතිං දාහක් පස්න...

    කොහොමත් අවුරුදු කාලෙට රෙදි න්ම තෝරන එක අමාරු වැඩක්..මාර්තු 15සිට මැයි මුල වෙනකල් රෙදි කඩවලට නොගිහින් ඉන්න එක තමයි හොද..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කීවේ කොළ අතු ටිකකින් වහගත්තා නම් ශේප් කියලා. දැන් ඉතින් කොහොමත් මිනිස්සුන්ගේ ලස්සන බලන්නේ අඳින ඇඳුමෙනුයි මූණේ උලා ගන්න එව්වා මෙව්වා තට්ටුවෙනුයි විතරයි. අපිට ඕනි විදියට ඇඳගන්න කොහෙන්ද ඉඩක් අප්පා මේ වටේ ඉන්න ඈයොන්ට හරියට රිදෙනවා නොවැ. මම නම් එච්චර ලොකු කඩවල්වලට යන්නේ නෑ. මොකද මම ඉන්න පළාතේ එහෙව් ලොකු කඩ නෑ. තියෙන පෙට්ටි කඩේට ගියත් දාහක් ප්‍රශ්න :)

      Delete
  3. Redi gannna minissu enne jeevitheta andumak tibbe nathi ganata neh.anika dan kale andina andum dakkama ewa andumda kiyela hitenawa.
    matanam thama kisi aulak nah amma kohen hari andumak genath denawa. kade paththa palathewath yanna mamanam nah.

    ReplyDelete