Tuesday, March 24, 2015

මේ අහන්න

සුදු මහතුනි මේ අහන්න,
කරුණාවෙන් සවන් දෙන්න
දන්නවානේ අ-මුතු ඇටේ
ඉන්දිය සාගර මැද්දේ
මම ආවේ එහේ ඉඳන්
කවිය මගේ අසනු තුටින්

මුන්නැහැලා අපේ රටට
ගොඩබහින්න ඉස්සෙල්ලා
මුළු දීපෙම දෙව් විමනක්
සත්තයි අම්මාපල්ලා

ඇස්වහ නෑ කටවහ නෑ
සුදු මහතුන් ආ දින සිට
අපෙ ගම්වල කෙලි කුරුට්ටො
හිතුවේ ඔහෙලා දෙයියො කියලා

ලක් මෑණිට විතරක් හිස
නමා හිටිය අපේ එවුන්
ආත්මය ම විකිණූවා
නොවෙදෝ මහත්තයෝ ඉතින්
ඒ අතරෙත් හිටියා තමයි
උණු ලේ ඇති සිංහ පුතුන්
සුදු මහතුන් සැනසුනෙ
උන්ගේ ගැහෙනා රිහිරි මසින්

සබ්බ සකලෙ හූරාගෙන
අමුතු නිදහසක් දීලා
වැහැරුණු පස්සා පැත්තා
ඇති අමනුන් බිහි කරලා
අපිට හරිම ආදරයෙන්
සුදු මහතුන් නැව් නැග්ගා

සුද්දෝ අපිට ආදරෙයි
අපිත් හරිම ආදරෙයි

ඒත් එදා සුදු දෑතින්
කැඩූ අපේ සිංහ කොන්ද
උස්සා ගන්නට බැරි ලෙස
අදත් තියේ වක් නැමිල්ල
ගල් පොත්තක පහරන්නත්
සුදු මහතුන් අනුහසයෙන්
අවට සිටින සිඟාලයන්
කරන්නේ ම තැටමීම ය

සුදු මහත්තයන් විතරක් 
ගැන කියලා ඇතිද බොලන්?!

කලු සුද්දනි මේ අහන්න,
දිනෙක ලොවෙන් චුත වෙන කල
යළිත් මෙ පින්බර දේසේ
ඉපදේවා නොම පතන්න

එහෙම කළොත් මේ පින්බිම
ඇකයේ සැතපී සිටිනා
විරුවන් පස් කඳන් මතින්
නැගී සාප කරාවි බොට

තනියම ඇවිදිනා විටක
කලුවර ආකාසය දෙස
ඔය නෙත් යොමු කරනු එපා
පෙර විරුවන් හෙළන සුසුම්
වැහි බිඳුවක් ලෙසින් ඇවිත්
ගත දැවටී ගන්නා කල
රුධිර ධාතු නගනා හඬ
කලු (සුදු) හම අස්සෙන් ඇහේවි






6 comments:

  1. සුද්දො නරක වගේම හොද දේවලුත් දුන්න, ඒව තෝරල බේරල ගන්න එක අපේ එවුන්ගෙ වැඩක්. කොහොම උනත් ලස්සන නිසදැසක්.

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් ගන්නවා නම් කමක් නෑ කියමුකෝ. මම මේක ලිව්වේ මුළු ලෝකෙටම ඇහෙන්න හදවතින් ම ශ්‍රී ලාංකිකයි කියන ඒත් එහෙම එකක් ගෑවිලාවත් නැති අය ගැන විතරයි. ඊට එහා කිසි දෙයක් නෑ. බොහොම ස්තුතියි.

      Delete