Friday, March 27, 2015

තිරිසණී පුරාවෘතය

පුරාවෘතය කියලා බරපතල වචනයක් දැම්මා උනාට මේක මේ හෙන සිරා ගෑල්ලමයෙක්ට නමක් හැදුන විදියක් එහෙම නෙවෙයි. මගේ නම තිසරණී. ඒකේ තේරුම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ මාර්ගය අනුගමනය කරමින් එහි ගමන් ගන්නී කියන එක. ඒක අම්මයි අප්පච්චි දෙන්නා සෑහෙන දුරදක්නා නුවණින් දාපු නමක් අවංකව ම. කාලයාගේ ඇවෑමෙන් මට 'තිරිසණි' කියලා නමක් පටබැඳුණා. ඒක තිසරණී කියන නම ලඟින්වත් යන්නේ නැති මහා මූසල නමක්. ඒත් ඒ නම පසුපස තියෙන කතාව, මතක් කරන මතක් කරන වාරයක් පාසා අශ්ව බල එකසිය ගානට නැගෙන හෙන ඉස්ටෝරියක්.

මම මිශ්‍ර පාසලකට ඇතුළත් උනේ සිස්සත්වෙන් පස්සේ. ඒත් ඒ වෙනකොටත් මට පිරිමි ළමයි ගැන අනික් කෙල්ලොන්ට තිබ්බා වගේ මහා සෝබන හිරිකිතයක් තිබ්බේ නෑ. අනික කොහොමටත් ඉස්කෝලේ දී මට හිටියේ වැඩි හරියක් ම කොලු යාළුවෝ. මේක අපේ ගෙදර අයත් දැනන් හිටිය පරම සත්‍යය. ඉතින් එවුන් එක්ක ඕනි බයිලයක් කියවන් සෑහෙන නිදහසේ මම ඉස්කෝලේ ගියා. මට තිබ්බා මටත් වඩා ලොකු කුඩයක්. මම කොල්ලොන්ට හා හා පුරා කියලා තඩි බෑවේ කුඩෙන්. දෙන පාර දෙනවා කියලා දන්න නිසා අනික් සියුමැලි කෙල්ලොන්ට වගේ සංකීර්ණ නෝන්ඩි කන්න මට ලැබුණේ නැහැ. ඒ චණ්ඩිකම් එක්ක මට කොල්ලෝ කුරුට්ටෝ 'යකඩ ගැහැනිය' කියන්න පටන් ගත්තා. ඒත් ඒක තිරිසණි තරමට හිට් උනේ නැහැ. ඊට අමතර ව මට වෙනත් අන්වර්ථ නාම තිබ්බා නොසෑහෙන්න. උපන්දා සිට කස්ටිය කිව්වේ තිසා කියලා. තිසා හාමි, වන්ඩු, සුමෝ, බිග් ෂෝ, පින්ටෝ වගේ නම් ලැයිස්තුවක් ම තිබ්බා.

මම 8 වසරෙදි තමයි තිරිසණී කෙරුවාව උනේ. එදා මම ඉස්කෝලේ යන්න පරක්කු වෙච්ච දවසක්. පන්තියට යනකොට එකෙක් හිටියේ නැහැ. ඔක්කොම උදේ රැස්වීමට ගොහින්. ඒ මදිවට පන්සිල් කියනවාත් එක්ක. ඉතින් මම පන්තියේ ඉඳගෙන ම වැන්දා. රැස්වීම ඉවරවෙලා රොත්ත බුරුත්ත ම පන්තියට ආවා . හැමදේ ම නිස්කලංකයි. පළවෙනි පීරියඩ් එකත් සෝක් එකට ගෙවිලා ගියා. ඊට පස්සේ තමයි ගිනි විජ්ජුම්බරේ උනේ. මට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය එකී වතුර බොන්න ගත්තා. එතකොට මම දැක්කා මනුස්සයාගේ බෝතලේ යමක් තියෙන බව. ඉතින් මම කිව්වා හලෝ ඔයාගේ බෝතලේ මොනවද මන්දා තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. මේකි වැලහින්න වගේ අඬන්න පටන් ගත්තේ නැතෑ. හම්මේ ඉතින් පන්තියක කෙනෙක් අඬන්න ගත්ත ම වෙන දේ අහන්නත් දෙයක් ද? ඔක්කොම ටික අරුන්දට හුබ්බ ගන්නත් බැරි වෙන විදියට වට කරගත්තා. කොහොමින් හරි ඕක ස්ටාෆ් රූම් එකටත් ආරංචි උනා.

ඊට පස්සේ ආවා විනය කමිටුවද මොකද්ද මන්දා එකකින් ළමයින්ගෙන් ප්‍රශ්න කරන්න. ඒ වෙනකොට ඉස්කෝලේ හිටිය අයින්ස්ටයින් ලා හොයන් තිබ්බා අර හොල්මනගේ බෝතලේ බෙහෙත් පෙති වගයකුයි තිබ්බේ කියලා. ඉතින් දැන් අර කමිටුවේ ඈයෝ ඇවිත් සිටි සිටි ගාලා ළමයින්ගෙන් වෙන වෙන ම ප්‍රශ්න කරනවා කාවද සැක කියලා බලන්න. ගොඩක් එවුන් කියලා තිබ්බේ කාවවත් සැක නැති බව. මගේ වාරෙත් ආවා. මම ඉතින් එතනට යනකොට මම දැක්කා 'ට්‍රැවල් ගර්ල්ස්' ජෝඩුව සෑහෙන සංවේදී පාපොච්චාරණයක් කරනවා. උන් මම එනවා දැකලා ටක් ගාලා පන්තියට දුව ගත්තා. මට මීටර් උනා මුන් දෙන්නා මගේ ගැන තමයි ලොකුවෙන් ම කිව්වේ කියලා. මට දැනුණේ ඇඟ ඇතුලේ යමහල් විදාරණයක් උනා වගේ හැඟීමක්. මට සැක අය ගැන කියන්න කලින් අරුන් දෙන්නගේ හොම්බවල් තලලා එන්න ඕනි කියලා හිතන් මම යක්ෂාවේශ වෙලා පන්තිය පැත්තට දුවගෙන ආවා.

ඊට කලින් ට්‍රැවල් ගර්ල්ස්ලා ගැන කියන්න ඕනි. මුන් දෙන්නට මේ නම කියන්නේ කොයිවෙලෙත් එවුන් දෙන්නගේ වැඩේ අත් දෙක පටලන් මුළු ඉස්කෝලෙ ම ඇවිදීම නිසයි. අනික අවුරුදු 13ක් වෙච්ච ඒ කාලේ මුන් දෙන්නට තිබ්බේ බැඳලා ළමයි දුසිමක් ඉන්න ගැනියෙක්ගේ මානසිකත්වේ. ඒක ගොඩක් අය දැනන් හිටියා. මේ රස්තියාදුකාර හවුලේ එකියක් ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ දුවෙක්. අනික් උලමී මාත් එක්ක 1 වසරේ ඉඳන් ඉස්කෝලේ ගිය එකියක්. අර ටීචර්ගේ දුව තමයි තටම තටම කිව්වේ 'තිසරණී ව සැකයි' කියලා. අනිත් උන්දා ඒකට ම හරියන්න අභිනය කර කර හිටියේ. අම්මපා ඔය විනය ඉලව්වකින් මගෙන් ඇහුවා නම් උන්ගේ කෙරුවාවල් කියන්න තිබ්බා රෑ එළි වෙනකන්. එහෙව් ෂර්ලොක් හෝම්ස් බඩු දෙක කියනවා කොහෙවත් ඉන්න ගෑනියෙක්ගේ බෝතල් අස්සේ බෙහෙත් පෙති දැම්මට මාව සැකයි කියලා. අනේ..නන්නානේ!

ඉතින් දැන් ආයෙත් ෆිල්ම් එකට අවතීර්ණ වෙමු. මම පන්තියට එනකොට අර නෝනලා දෙන්න යසට ඉන්නවා මුකුත් උනේ නැහැ වගේ. මම හිතන්නේ ඒ වෙලාවේ පිහියක් හරි මොකක් හරි තිබ්බා නම් උන් දෙන්නා නිවන් යන්නත් තිබ්බා. ආයේ බත් කන්න බැරිවෙන්න දත් සෙට්වලට දෙන්න හිතුනත් ඉස්සෙල්ලා ම මම පැනලා දෙන්න ගියේ නෑ.

"තමුසෙලා දෙන්නා අතන මොනවද මම ගැන කුටු කුටු ගගා කියෙව්වේ?"

"තමුසේ ගැන අපි මොනා කිව්වම මොකද?"

මේ පඟර නැට්ටියොන්ට මෙච්චර සෙකන්ඩ් වෙන්න ඕනිද කියලා හිතලා මම අර ටීචර්ගේ දුවගේ ගවුමේ කොලර් එකෙන් අල්ලලා උස්සලා එහෙට මෙහෙට පද්ද පද්ද ඇහුවා ලැජ්ජාවක් කියලා එකක් නැද්ද යකෝ කියලා. බටර් එක්ක පාන් පෙත්තක් කන්න මස් නැති ඒ ගෑනි මට ගහන්න අත ඉස්සුවා. මට ම වැරැද්ද පටවලා දැන් මට ම ගහන්න එනවද කියලා අහලා මගේ ශරීරේ තිබ්බ සියලු ම ශක්තිය එකලස් කරගෙන උන්දැගේ කම්මුල මත මගේ හස්තය පතිත කරා. මනුස්සයා ආව් කියාගෙන පුටුවට ඇදන් වැටුණා. ඒ වැටිලා ආයෙත් මට ගහන්න නැගිටින්න හදනකොට ම මම ආය පුටුව උඩට වැටෙන්න උන්දැව තල්ලු කරා. එන පොට හොඳ නැහැ කියලා තේරුණ අපේ පන්තියේ පරම අවිහිංසාවාදී නඩේ ඇවිත් මාව ඇදගෙන උන් වාඩිවෙලා හිටිය පේළියට ඇදගෙන ගියා. එදා ඉඳන් තමයි මගේ පාසල් ජීවිතේ ලස්සන උනේ. ගොන් මිනිස්සුන්ගේ ඇසුරට වඩා හොඳ යාළුවො ටිකක් මට ලැබුණේ එදා තමයි.

ඉතින් දැන් ඒක කොහොමද තිරිසණී එක්ක යා වෙන්නේ? මෙහෙමයි. සිද්ධිය වෙද්දී ප්‍රේක්ෂකත්වයෙන් අමන්දානන්දයට පත්වෙලා හිටියේ පන්තියේ කොලු රෑන. මට සමහරු විසිල් ගහනවා පවා ඇහුනා. සමහරු ඇවිත් මට කිව්වා ඔය වගේ ගෑනු කියන කතන්දර ගණන් ගන්න යන්න එපා කියලත්. ටික වෙලාවකින් එකෙක් කියපු කතාව නිසා තමයි මට ගෞරව නාමේ හිමි උනේ.

"අඩේ බන්, උඹ දකින්න තිබ්බේ ඒකිට නෙලුව හැටි! යකෝ දෙමළ ෆිල්ම් එකක වගේ! පට්ට! අනික දුන්නෙත් ටීචර්ගේ දුවට නේ! මරු මරු! තිසරණී කියනවට වඩා තිරිසණි කියන නමයි තොට හරියන්නේ!"

අර අන්තිම හරිය කියන වෙලාවේ එක පාරට ම පන්තියේ නිශ්ශබ්දතාවයක් ඇති උනා. ඉතින් හත්වලාමේ ඔක්කොට ම ඒක ලෙසට ම ශ්‍රවණය උනා. මේ නම භාවිතා වීම පිළිබඳ අපේ ගෙදර ඈයොන්ටත් ආරංචි උනා. අවුලක් උනේ ම නැහැ. එයාලත් ඒ නමට ආසා කරා. ඉස්කෝලේ බිත්තිවල පවා ඒ නම ලියැවුණු යුගයක් තිබ්බා. කොහොම හරි අරුන් දෙන්නා එක්ක මගේ ඇයිහොඳයියක් තිබ්බේ ම නැහැ. පසුකාලීන ව ලාවට යාළුකම් පැවැත්තුවා. ඊට පස්සේ දැන් ආයෙත් මල.

ඒ කාලෙත් එක්ක සසඳද්දී දැන් නම් මම බෝ පැළයක් වගේ. දැන් කියවිල්ල විතරයි, කෙරුවාවක් ඇත්තේ ම නැහැ. හැබැයි මට අතට අහු වෙන මානේ ඉඳන් මට මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරොත් මම කියව කියවා ම ඉන්න එකකුත් නැහැ! :)

Tuesday, March 24, 2015

මේ අහන්න

සුදු මහතුනි මේ අහන්න,
කරුණාවෙන් සවන් දෙන්න
දන්නවානේ අ-මුතු ඇටේ
ඉන්දිය සාගර මැද්දේ
මම ආවේ එහේ ඉඳන්
කවිය මගේ අසනු තුටින්

මුන්නැහැලා අපේ රටට
ගොඩබහින්න ඉස්සෙල්ලා
මුළු දීපෙම දෙව් විමනක්
සත්තයි අම්මාපල්ලා

ඇස්වහ නෑ කටවහ නෑ
සුදු මහතුන් ආ දින සිට
අපෙ ගම්වල කෙලි කුරුට්ටො
හිතුවේ ඔහෙලා දෙයියො කියලා

ලක් මෑණිට විතරක් හිස
නමා හිටිය අපේ එවුන්
ආත්මය ම විකිණූවා
නොවෙදෝ මහත්තයෝ ඉතින්
ඒ අතරෙත් හිටියා තමයි
උණු ලේ ඇති සිංහ පුතුන්
සුදු මහතුන් සැනසුනෙ
උන්ගේ ගැහෙනා රිහිරි මසින්

සබ්බ සකලෙ හූරාගෙන
අමුතු නිදහසක් දීලා
වැහැරුණු පස්සා පැත්තා
ඇති අමනුන් බිහි කරලා
අපිට හරිම ආදරයෙන්
සුදු මහතුන් නැව් නැග්ගා

සුද්දෝ අපිට ආදරෙයි
අපිත් හරිම ආදරෙයි

ඒත් එදා සුදු දෑතින්
කැඩූ අපේ සිංහ කොන්ද
උස්සා ගන්නට බැරි ලෙස
අදත් තියේ වක් නැමිල්ල
ගල් පොත්තක පහරන්නත්
සුදු මහතුන් අනුහසයෙන්
අවට සිටින සිඟාලයන්
කරන්නේ ම තැටමීම ය

සුදු මහත්තයන් විතරක් 
ගැන කියලා ඇතිද බොලන්?!

කලු සුද්දනි මේ අහන්න,
දිනෙක ලොවෙන් චුත වෙන කල
යළිත් මෙ පින්බර දේසේ
ඉපදේවා නොම පතන්න

එහෙම කළොත් මේ පින්බිම
ඇකයේ සැතපී සිටිනා
විරුවන් පස් කඳන් මතින්
නැගී සාප කරාවි බොට

තනියම ඇවිදිනා විටක
කලුවර ආකාසය දෙස
ඔය නෙත් යොමු කරනු එපා
පෙර විරුවන් හෙළන සුසුම්
වැහි බිඳුවක් ලෙසින් ඇවිත්
ගත දැවටී ගන්නා කල
රුධිර ධාතු නගනා හඬ
කලු (සුදු) හම අස්සෙන් ඇහේවි






Sunday, March 22, 2015

අඬන ආතලය

මිනිස්සු අඬන්න පටන් ගන්නේ කිරි සප්පයා කාලේ ඉඳන්ම යි. තමන්ගේ අවශ්‍යතා කටක් ඇරලා කියාගන්න බැරි නිසා පොඩි එවුන් කොයි තරම් අඬනවද? හැබැයි ඒ අඬන කෙරුවාව සාමාන්‍යයි. කිරි සප්ප අවධියෙන් පස්සේ තමයි කඳුළුවල ආතල් එක තියෙන්නේ. ඒ ආතල් කාලේ අපේ කඳුළු මිනිස්සු විවේචනය කරන්න ගන්නවා. එතනින් තමයි ෆන් එක පටන් ගන්නේ.

අපි වයසින් වැඩෙන්න ලොකු එවුන් වෙනවා කිව්වට මට නම් අපි බාල කාලෙටත් අන්ත මට්ටමට වැටෙන්නේ ඔය වැඩීමත් එක්ක. පුංචි කාලේ අපි අඬනකොට එක්කෝ ඔය මොකක් හරි සෙල්ලමක් දාලා ශේප් කර ගන්නවා. ඒත් ලොකු වෙන්න වෙන්න සෙල්ලම් දැම්මට අඬන මිනිස්සු නලවන්න බැහැ. ඒ බැරි නිසා ම කවුරු හරි අඬනවා නම් අඬන්නේ ඒකාගේ පෞරුෂේ අවුලක් ය, අරකයි මේකයි කියලා උන් ව හරි අමුතු විදියකට සවුත්තු කරන තත්වෙකට මිනිස්සු ඇවිත්. අපිට හිනාවෙන්න හේතු ඕනි තරම්. ඒත් කෙනෙක් අඬනවා නම් එතන තියනවා ඔය කෙහෙම්මල් පෞරුෂ සංකල්පෙට එහා ගිය දෙයක්.

ඇත්තට ම ඇයි මිනිස්සු අඬන්නේ? අඬන කෙනෙක් දිහා බලලා මේ මොන සමයමක්ද කියලා උපකල්පනය කරන්න කලින් ඒ ගැන හිතන්න ඕනි හැම කෙනෙක් ම. මිනිස්සුන්ට කොයි තරම්වත් ප්‍රශ්න තියෙනවා. ගෙදර ප්‍රශ්න, ආර්ථිකමය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න වගේ ම ආදරේ නිසා අඬන අයත් ඉන්නවා. හැබැයි හැමෝම අඬන්නේ ආදර ප්‍රශ්න නිසා නෙවෙයි. ඕක හිතන් නැතිව අවුරුදු 18ක 20ක කෙල්ලෙක් කොල්ලෙක් අඬනකොට නෙද්දකින් මූසලකම කියලා හිතපු නිසයි මිනිස්සුන්ට වැරදුනේ. තවත් කට්ටියක් ඉන්නවා තමාගේ හිතට දැනෙන දේ කියන්න කෙනෙක් නැති නිසා අඬන. සමහරවිට තමා ඇසුරු කරන අය ම මොකක් හරි සීමාවක් දැම්මොතින් වැඩේ සෑහෙන දරුණු වෙනවා. ඒ වෙලාවට හිතේ මහා ගොඩක් දේවල් හිර කරන් ඉන්න බැරි ම තැන ඇස්වලින් කඳුළු එනවා. ඒක එවුන්ගේ වරද නෙවෙයි. ඒ නිසා කවුරු හරි අඬනකොට "අඬන්න එපා" කියලා කියන එක නම් අමන වැඩක්. මොකද එහෙම කිව්වයි කියලා කඳුළු නතර වෙන් නෑ. සමහරවිට අඬන සද්දේ තව ටිකක් වැඩිවෙන්න පුළුවන්. 

අයෙක් අඬනවා නම් කරන්න පුළුවන් හොඳම දේ ඇහුම්කන් දීමයි. හැබැයි ගොන් ඈඬියාවල්වලට නෙවේ. ගොන් ඒවා කිව්වේ ඔය පවුඩර් බේබිලා වැඩි හරියක් ම සමාජ වෙබ් අඩවි අස්සේ නටන නාඩගම්වලට. ඒ අඬන්නේ උන්ගේ කොහේ හරි අමාරුවකට මිසක් වෙන මොකටවත් නෙවෙයි. අධෝ වාතයක් ගියත් ෆේස්බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරලා අඬන උන් නම් නලවන්න නොයන තරමට හොඳයි. හැබැයි ලංකාවේ දුක්ගන්නාරාළලා වැඩි හරියක් ම කරන්නේ ඕක. ඇත්තටම කතා කළ යුතු අයගේ ඇස්වලට තව ටිකක් ඇනලා යනවා කොහෙවත් ඉන්න බබ්බු නලවන්න. ඒක ඉතින් රටේ මිනිස්සුන්ගේ හැටි. හොඳම දේ ඇහුම්කන් දීමයි කියලා මම කිව්වේ මොකද කියනවා නම් කලින් කිව්වා වගේ ම කෙනෙක්ට අඬන්න තියෙන ලොකු ම හේතුවක් තමයි තමන්ගේ දේවල් කියන්න හරි හමන් යාළුවෙක්වත් නැතිකම. 

අඬන අයගෙන් තව ආතල් ගන්න මාර්ගයක් තමයි පුරුෂ භේදය සැලකීම. ඉස්කෝලේ කාලේ අපේ පන්තියේ හිටියා පත කොල්ලෙක්. හැබැයි පොඩි දෙයටත් අඬනවා. ඉතින් ඌට මොකක් හරි උගුලක් අටවලා සතුටු වෙන්න අපේ පන්තියේ කොල්ලෝ සෑහෙන ආසයි. හෙන ආතල් ඉතින්. අපිත් ඒ දවස්වල මනුස්සයට හිනා වෙවී උන්නේ. හැබැයි හේතු කාරණා දැනගත්තේ පස්සේ. කොහොමත් පොර පන්තියේ හිටියේ තනිවෙලා වගේ. පන්තිය විසින්ම එයාට ගෞරව නාමයක් දීලා තිබ්බා ඌ මල වාතයක් කියලා. ඉතින් කවුරුත් එයා එක්ක වැඩි ගණුදෙනුවක් නැහැ. ඉතින් එයාට අනික් කොල්ලෝ වගේ ඉස්කෝලේ තියෙන පැය ගණන තුළ සතුටින් ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. සමවයස් යාළුවො එක්ක තමන්ට දැනෙන හැඟෙන දේ කියන්න තියා හිතන්නවත් බැහැ. මොකද කවුරුත් එයා කියන දේවල් අහන්න ගියේ නැති නිසා. ඒ මානසිකත්වය යටතේ මිනිහෙක් ඇඬුවේ නැත්තන් නොව පුදුමේ!

මම ගැන කතා කරොත් මේ අවුරුදු 19ක් වගේ වෙන කාලේ ඇතුළත මම සත් සමුදුරු ගොඩ ගලන්න අඬලා තියෙනවා එක එක එව්වා මෙව්වාවලට. කවුරුහරි බනින්න කලින් මගේ ඇස්වල කඳුළු, සෙල්ලම් කරද්දී වැටෙන්න කලින් අඬලා ඉවරයි, ආසම කරන කාටුන් එකක් හරි මොකක් හරි මිස් උනොත් ඒත් අඬනවා.   
හොටුපෙති ලෝකයයි. ඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ.. මම වෙන උන් අඬනවා දැක්කමත් අඬලා තියෙනවා නොසෑහෙන්න! එක කෝලමයි ඉතින්. හැබැයි දැන් නම් ඔක්කොම හරි. නිකන් කාගේවත් ආතල් එකක් නොවී අඬන් නැතුන් ඉන්න දන්නවා මම දැන්. එක්කෝ මට සර්ව සුබවාදී මොකක් හරි බිබික්කමක් පෑගිලා තියෙනවා නැත්තන් ඔය මොකක් හරි කැවිලා තියෙනවා. මළ ගෙයකදී නැත්නම් මගේ රටට මොකක් හරි අවජාතක වැඩක් වෙන වේලාවකදී ඇරෙන්න ආය මම කවදාවත් ම අඬන එකක් නැහැ. ඉස්සරහට තියෙන ජීවිත කාලේ ම ගුලියක් කාපු එකියක් වගේ හිනා වෙවී ඉඳීවි මම. ඇස් පිරිසිදු වෙන්න , කඳුළු එන්න අඬන්න ම ඕනිය ආයුබෝවන්ඩ? මම හිනා වෙනකොට ඔක්කොටම හපන්! ඇස්වලින් කඳුළු බේරෙනවා. ඇස් අස්සේ ඉන්න බැක්ටීරියා ටික එළියට එන්න ඒ ටික වැඩිත් එක්ක. 

අඬන එක ආතලයක් කරගන්නේ අඬන මිනිස්සු නෙවෙයි. උන් දිහා බලන් ඉඳලා කාලකන්නි සතුටක් ගන්න ඈයෝ කියලා දැනගෙන ඉන්න එකත් එක්තරා විදියක ජිවිත පාඩමක් ඕන්! :)